
ජංගම දුරකථනය නැතිවුණොත් කළ යුතු දේ මෙන්න
ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් වීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දිනපතා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන නැතිවීම් සහ සොරකම් පිළිබඳ පැමිණිලි රැසක් ලැබෙන බවයි.
එවැනි අවස්ථාවලදී පුද්ගලික තොරතුරු, බැංකු සහ මූල්‍ය දත්ත, ඡායාරූප ඇතුළු සංවේදී තොරතුරු අවභාවිතා වීමේ අවදානමක් ඇති බව පොලිසිය අවධාරණය කරයි. එමෙන්ම සොරකම් කළ හෝ අස්ථානගත වූ දුරකථන නීතිවිරෝධී ක්‍රියා සඳහා භාවිත කරන සිදුවීම් ද වාර්තා වී ඇති බව සඳහන් වේ.
දුරකථනයක් නැතිවූ වහාම සිම්පත අක්‍රීය කර ගැනීම සඳහා අදාළ දුරකථන සේවා සපයන ආයතනය දැනුවත් කළ යුතු බව පොලිසිය පෙන්වා දෙයි.
එමෙන්ම ජංගම දුරකථනයේ IMEI අංකය කලින්ම සටහන් කර තබා ගැනීම වැදගත් වන අතර, *#06# යෙදුම භාවිතයෙන් එම අංකය ලබාගත හැකි බව ද සඳහන් කරයි.
අස්ථානගත වූ හෝ සොරකම් කළ දුරකථන සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දී ඇති “I need” මෘදුකාංග පද්ධතිය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, ඒ සඳහා ineed.police.lk වෙබ් අඩවිය භාවිත කළ හැකිය.
පොලිස් දත්ත අනුව 2024 වසර තුළ අස්ථානගත වූ ජංගම දුරකථන 2796ක් සොයාගෙන හිමිකරුවන් වෙත භාරදී තිබේ. එමෙන්ම සොරකම් කළ දුරකථන 928ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
2025 වසරේදී ද අස්ථානගත වූ දුරකථන 2355ක් සොයාගෙන ඇති අතර, සොරකම් කළ දුරකථන 1019ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
තමන්ට අයත් නොවන දේපළක් හමු වූ විට එය ළඟම ඇති පොලිස් ස්ථානයකට භාරදීම පුරවැසි වගකීමක් බවත්, එසේ නොකළහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.



