
චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවූ සිරුරු සංඛ්‍යාව 351 දක්වා ඉහළට
යාපනයේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමූහ මිනීවළෙන් මේ වන විට මිනිස් සිරුරු 351කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (15) දිනයේ සිදුකළ කැනීම්වලදී තවත් මිනිස් සිරුරු 10කට අදාළ අස්ථි කොටස් සොයාගැනීමත් සමඟ මෙම සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව උතුරු පළාතේ මෑත ඉතිහාසයේ අනාවරණය වූ විශාලතම සමූහ මිනීවළ ලෙස චෙම්මනි මිනීවළ සැලකෙයි.
අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා සඳහන් කළේ, කැනීම්වල 6 වැනි අදියරේ 25 වැනි දිනය අවසන් වන විට මිනිස් සිරුරු 360කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර, ඉන් 351ක් මේ වන විට ගොඩගෙන ඇති බවය.
මෙම කැනීම් කටයුතු යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් ඒ සඳහා දායක වී සිටිති.
2026 අප්‍රේල් 27 වැනිදා ආරම්භ වූ 6 වැනි අදියර තුළින් පමණක් මේ දක්වා මිනිස් සිරුරු 112කට අදාළ අස්ථි කොටස් සොයාගෙන තිබේ. කැනීම් අතරතුර කුඩා දරුවන්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස්, රන් භාණ්ඩයක කොටසක් සහ කාසි කිහිපයක් ද හමුවී ඇති බව සඳහන්ය.
මේ අතර, මෙහි 5 වැනි අදියර 2025 සැප්තැම්බර් 6 වැනිදා අවසන් වන විට මිනිස් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබූ බව ද වාර්තා වේ.
ගොඩගෙන ඇති සියලුම අස්ථි කොටස් සහ අනෙකුත් භාණ්ඩ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨය භාරයේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.
යුද සමයෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින්ම සමූහ මිනීවළ අනාවරණය වූ අතර, මන්නාරම සහ මුලතිව් ප්‍රදේශවලින්ද මීට පෙර සැලකිය යුතු ප්‍රමාණයේ මිනිස් සිරුරු අස්ථි කොටස් හමුවී තිබුණි. චෙම්මනි සමූහ මිනීවළේ කැනීම් කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.



