
චීනයෙන් ඊශ්‍රායලයට පණිවිඩයක්: හමුදා මෙහෙයුම් වහා නතර කරුන ලෙස අවධාරණය කරයි
බලය යොදා ගනිමින් ගැටලු විසඳීමට උත්සාහ කිරීමෙන් නව ගැටලු හා දිගුකාලීන බරපතළ ප්‍රතිවිපාක පමණක් උද්භව වන බව චීනය ඊශ්‍රායලය වෙත අවධාරණය කර තිබේ.
එබැවින් කලාපයේ උත්සන්න වෙමින් පවතින තත්ත්වය තවදුරටත් පාලනයෙන් පිටතට යාම වැළැක්වීම සඳහා සියලු හමුදා මෙහෙයුම් වහාම නතර කරන ලෙස චීනය ඉල්ලා සිටියි.
මෙම අදහස් පළකර ඇත්තේ චීන විදේශ අමාත්‍ය වං යී මහතා, ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gideon Sa’ar මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදීය.
ජාත්‍යන්තර සබඳතා තුළ බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් හෝ එවැනි භාවිතයන්ට තර්ජන කිරීමෙන් ගෝලීය රාජ්‍යයන් වැළකී සිටිය යුතු බවත්, එය ඊශ්‍රායලය ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ මූලික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා වැදගත් වන බවත් චීන විදේශ අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
තවද, ජාත්‍යන්තර හා කලාපීය උණුසුම් ගැටලු සංවාදය හා සාකච්ඡා මාර්ගයෙන් විසඳීම චීනයේ ස්ථාවරය බවත්, සියලු පාර්ශ්වයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රඥප්තියේ අරමුණු හා මූලධර්මයන්ට අනුකූලව ක්‍රියා කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ඉදිරියට, ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර මෑතකදී පැවති සාකච්ඡාවලදී ඊශ්රායලයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද සැලකිල්ලට ගනිමින් සාර්ථක ප්‍රගතියක් ලබා තිබූ බවත්, එම පසුබිම මත මැදපෙරදිග කලාපය වෙත සන්නද්ධ ගැටුමක් ඇතිවීම කණගාටුදායක බවත් වං යී මහතා ප්‍රකාශ කර ඇත.
මැදපෙරදිග ගැටලු සම්බන්ධයෙන් සාධාරණ සහ සමබර ස්ථාවරයක් ගන්නා චීනය, ගැටුම් අවම කිරීම හා සාමකාමී විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියා කරනු ඇති බව ද එහිදී අවධාරණය වී ඇත.



