
ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අපහාසාත්මක ප්‍රකාශ සිදුකරන බවට ගැමුණු විජේරත්න මහතා පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය අලුතින් ඉදිරිපත් වූ සංකල්පයක් නොවන බවයි. තමන් මීට වසර 10කට පමණ පෙරද මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වූ බව ඔහු පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ බවත්, ඒ සඳහා අධික මුදලක් වැයවීම හේතුවෙන් එය අසාර්ථක වූ බවත් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
2023 ආර්ථික අර්බුදයෙන් පසුව මෙට්‍රෝ බස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය. එම යෝජනාවට අදාළ ලිඛිත ලේඛනයක් තමන් සතුව ඇති බවත් ඔහු කියා සිටියේය.
එම ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ණය ලබාගැනීමට සැලසුම් කළ බවත්, මහජන මුදල් හෝ ජනතාවගේ බදු මුදල් භාවිත නොකර එය ක්‍රියාත්මක කිරීමට අදහස් කළ බවත් ගැමුණු විජේරත්න මහතා පැවසීය.
මීට වසර 10කට පමණ පෙර ලේලන්ඩ් ආයතනය මගින් පහත තට්ටුවක් සහිත මෙවැනි බස් රථ 60ක් ගෙන්වා තිබූ බවද ඔහු සඳහන් කළේය. එම බස් රථ මේ වනවිට ශ්‍රීලංකන් ආයතනය සඳහා ධාවනය කරන බවත්, තවත් එවැනි බස් රථ 20ක් පමණ පනාගොඩ ලේලන්ඩ් ආයතනයේ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේය.
“මෙට්‍රෝ බස් කියන්නේ පහුගිය කාලේ පුරාම අලුතින් ආපු කතන්තරයක් නෙමෙයි. මේක මම 2023 ආර්ථික අර්බුදයෙන් පස්සේ පටන් ගන්න යෝජනාවලියක් ඉදිරිපත් කළා ප්‍රවාහන අමාත්‍යාංශයට. මා සතුව ඒ ලිඛිත ලියවිල්ල තියෙනවා. ඒ සම්බන්ධව අපි චීනයේ එක්සීම් බැංකුවේ ණය අරගෙන තමයි කරන්න ආවේ. මහජන මුදල්වලින්, මහජනතාවගේ බදු මුදල්වලින් නෙමෙයි අපි කරන්න හැදුවේ. මම හැමදාම හැම ආණ්ඩුවකින්ම බැට කාපු පුද්ගලයෙක්… මේ බස්ම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ලේලන්ඩ් ආයතනයෙන් ගෙනාවා. ලේලන්ඩ් ආයතනය රජය සතු කොටස් තියෙන ආයතනයක්. එතකොට රජයේ කොටස් තියෙන මේ ආයතනය මීට අවුරුදු 10කට පහත තට්ටුව තියෙන මෙවැනිම බස් 60ක් ගෙනාවා. ඒ ගෙනාපු බස් දැන් ලේලන්ඩ් ආයතනය ශ්‍රීලංකන් එකට ධාවනය කරනවා. කරුණාකරලා පනාගොඩ ලේලන්ඩ් ආයතනයට ගිහිල්ලා බලන්න තවත් මෙවැනිම බස් 20ක් තියෙනවා. මේක අරුමයක් නෙමෙයි මේක කරන්න බෑ. ඩීසල් වැඩ කරන්නේ කිලෝමීටරයකට 1.5ක් නැත්නම් 2ක්… මෙවැනිම ව්‍යාපෘතියක් පටන් ගත්තා ගෝඨාභය මහත්මයාගේ කාලේ. ඒක අසාර්ථක වුණා ඒකට විශාල පාඩුවක් සිද්ධ වුණා”
ගැමුණු විජේරත්න CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස පිළිබඳව බවද සඳහන් වේ.



