ප්‍රධාන පුවත්

පොලිතින් මලු බදු මුදල් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් වෙළඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට අලෙවි කරන ෂොපින් මලු සඳහා අය කරන බදු මුදල් රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් 03 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම පෙත්සම පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති අතර, අද (15) එය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් 03 වනදා නැවත කැඳවීමට නියෝග කළේය.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, පාරිසරික සංරක්ෂණ බදු පනත අනුව වෙළඳ ආයතන මඟින් ෂොපින් මලු අලෙවි කිරීමේදී අය කරන බදු මුදල් රජයේ පාරිසරික සංරක්ෂණ අරමුදලකට යොමු කළ යුතු බවයි. කෙසේ වෙතත්, දැනට එම ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන බවත්, එය නීතියට පටහැනි බවත් ඔවුන් සඳහන් කර ඇත.

ඒ අනුව, අදාළ බදු ආදායම රජය ස්ථාපිත කර ඇති පාරිසරික සංරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button