
මූල්‍ය පැමිණිලි සඳහා මහ බැංකුවෙන් නව Online පද්ධතියක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ඇති ගැටලු සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා නව මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම නව පද්ධතිය හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වන්නේ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තවදුරටත් ඉහළ නැංවීමයි.
මෙම online ක්‍රමවේදය හරහා මූල්‍ය පාරිභෝගිකයින්ට තම පැමිණිලි විධිමත් හා ප්‍රමිතිගත ආකාරයකින් ඉදිරිපත් කිරීමට හැකි වන අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව නිරාකරණය කිරීම සහ නියමිත කාලසීමාව තුළ සලකා බැලීම සඳහාද පහසුකම් සැලසෙනු ඇත.
එමෙන්ම, මුද්‍රිත ලේඛන මත පදනම් වූ ක්‍රියාවලි අවම කරමින් ප්‍රමාදයන් අඩු කිරීම සහ පැමිණිලි කළමනාකරණ කටයුතු වඩාත් විධිමත් කිරීම මෙම පද්ධතිය හරහා අපේක්ෂා කෙරේ. පැය 24 පුරා ක්‍රියාත්මක වන බැවින්, පාරිභෝගිකයින්ට තමන්ට පහසු ඕනෑම වේලාවක පැමිණිලි යොමු කළ හැකිය.
තවද, තමන් ඉදිරිපත් කළ පැමිණිලිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාවද මෙම පද්ධතිය මඟින් ලබා දී ඇති අතර, එමගින් පැමිණිලි නිරාකරණ ක්‍රියාවලිය තුළ වැඩි විනිවිදභාවයක් සහතික කෙරේ.
මහ බැංකුව අවධාරණය කරන්නේ, පළමුව පාරිභෝගිකයින් තම ගැටලු අදාළ මූල්‍ය සේවා සපයන්නා වෙත සෘජුවම ඉදිරිපත් කළ යුතු බවයි. එම ආයතනය විසින් ගැටලුව නිරාකරණය කිරීමට අපොහොසත් වුවහොත් හෝ ලැබෙන ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් පමණක් මෙම online පද්ධතිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි යොමු කළ හැකි බව සඳහන් වේ.
පද්ධතිය භාවිත කිරීමේදී ඉදිරිපත් කරන තොරතුරු නිවැරදි, පැහැදිලි සහ සම්පූර්ණ විය යුතු අතර, අදාළ ලියකියවිලිද එක් කරන ලෙස මහ බැංකුව උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, මූල්‍ය පාරිභෝගිකයින්ට සිය පැමිණිලි online ලෙස ඉදිරිපත් කිරීම සඳහා https://reachus.cbsl.lk/ යන සබැඳිය භාවිත කළ හැකියි.



