
ශ්‍රී ලංකාවට PayPal සේවා පුළුල් වෙයි – දැන් විදේශ මුදල් සෘජුවම බැංකු ගිණුම් වෙත
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට නව පියවරක් එක් කරමින්, මෙරට සඳහා PayPal සේවා පහසුකම් පුළුල් කිරීම අද (16) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී මෙම නිවේදනය සිදුකර තිබේ.
මෙතෙක් ශ්‍රී ලාංකික PayPal ගිණුම්වලට විදේශයන්ට මුදල් යැවීමේ පහසුකම පමණක් ලබාදී තිබූ අතර, ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නොතිබීම නිසා නිදහස් වෘත්තිකයින් සහ ඔන්ලයින් ව්‍යාපාරිකයින් බාධාවකට මුහුණ දී සිටියහ. නව වෙනස්කම් සමඟින්, අන්තර්ජාලය හරහා සේවා සපයන ශ්‍රී ලාංකිකයන්ට තම ආදායම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.
මෙම පියවර මගින් නිදහස් වෘත්තිකයින්, IT ක්ෂේත්‍රයේ සේවාදායකයින්, Startups, SME ව්‍යාපාර සහ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළට වඩාත් පහසුවෙන් සම්බන්ධ වීමට ඉඩ සැලසෙන අතර, රටට ලැබෙන නිල විදේශ විනිමය ආදායමද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආරම්භක අදියරේදී ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව හරහා මෙම PayPal සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඉදිරියේදී තවත් බැංකු මෙම පහසුකම සමඟ එක්වනු ඇති බව සඳහන්ය.
වසර 12කට අධික කාලයක් පැවති සාකච්ඡා සහ උත්සාහයන්ගෙන් අනතුරුව ලැබූ මෙම ප්‍රගතිය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කරන වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකේ. රජය පෙන්වා දෙන්නේ, සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම මූලික කරගත් ආර්ථික සැලැස්මක් තුළ මෙවැනි ඩිජිටල් සහයෝගිතාවන් රටේ අනාගත සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන බවයි.



