
ගල්අඟුරු ආනයනයේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති පූර්ණ බලැති කොමිසමක්
ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ආශ්රිත විදුලි ජනනය ආරම්භ වූ දින සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය සහ භාවිතය සම්බන්ධයෙන් අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කර තිබේ.
1978 අංක 04 සහ 1978 අංක 07 යන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත් අනුව මෙම කොමිසම පිහිටුවා ඇත.
මෙහි සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පත්කර ඇති අතර, සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා සේවය කරයි. කොමිසමේ ලේකම්වරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පත් කර ඇත.
මෙම කොමිසමට පැවරී ඇති ප්‍රධාන කාර්යභාර අතර ගල්අඟුරු ආනයනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සොයා බැලීම, රජයට සිදුවී ඇති මූල්‍ය හානියක් තිබේදැයි තක්සේරු කිරීම, සහ ආනයනය කළ ගල්අඟුරු ප්‍රමිතියට අනුකූලදැයි විමර්ශනය කිරීම ඇතුළත් වේ.
එමෙන්ම, ගල්අඟුරු භාවිතයෙන් සිදු කරන ලද විදුලි උත්පාදනය කාර්යක්ෂම ලෙස සිදු වී තිබේද යන්නද පරීක්ෂා කෙරේ. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතා කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය හෝ මූල්‍යමය අක්‍රමිකතා සිදුවී ඇත්ද යන්නද විමසා බැලීමට නියමිතය.
ඊට අමතරව, ගිවිසුම් කොන්දේසි කඩවීම් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගෙවීම් අත්හිටුවීම හෝ වෙනත් ක්‍රියාමාර්ග ගෙන තිබේදැයි සොයා බැලීමත් මෙම කොමිසමේ වගකීමකි.
මෙම ක්‍රියාවලිය තුළ වගකිව යුතු දේශපාලන නායකයන්, රජයේ නිලධාරීන්, සී/ස ලංකා ගල්අඟුරු සමාගම සහ සැපයුම්කරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරීමද කොමිසමේ කාර්යයකි.
එසේම, අනාගතයේ මෙවැනි අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය පියවර පිළිබඳවද යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙයට අමතරව, ගල්අඟුරු ආනයනය හා විදුලි උත්පාදනය සම්බන්ධයෙන් වාර්තා විය හැකි අනෙකුත් අකටයුතුකම් පිළිබඳවද විමර්ශනය කර ඒවා වළක්වා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමද මෙම කොමිසමේ කාර්යභාරයට අයත් වේ.



