ප්‍රධාන පුවත්

කොළඹ ජාතික රෝහලේ ජල ගැලීමට හේතුව නොරිස් ඇළේ නඩත්තු දුර්වලතාද?

කොළඹ ජාතික රෝහලේ ජල ගැලීමට හේතුව ලෙස නොරිස් ඇළ නිසි පරිදි පිරිසිදු නොකිරීම සහ නඩත්තු කටයුතු අඩාල වීම හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ජල ගැලීමට බලපෑ නොරිස් ඇළේ ගැටලුව

ඊයේ (06) පස්වරුවේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවිය. එහි බලපෑම කොළඹ ජාතික රෝහලටද එල්ල වූ අතර රෝහලේ අංශ කිහිපයක් සහ රෝගී වාට්ටු රැසක් ජලයෙන් යටවී තිබුණි.

මෙම ජල ගැලීම හේතුවෙන් රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ අංශය සහ ශල්‍යාගාර ඇතුළු ස්ථාන රැසකට බලපෑම් එල්ල විය. එමෙන්ම හදිසි අනතුරු අංශයේ විදුලි සෝපාන කිහිපයක්ද ජලය ඇතුළුවීම හේතුවෙන් අක්‍රීය වී තිබූ බව වාර්තා විය.

ජලයෙන් බලපෑමට ලක්වූ රෝගීන් වෙනත් වාට්ටු වෙත මාරු කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණි.

නොරිස් ඇළේ නඩත්තු කටයුතු පිළිබඳ අවධානය

කොළඹ ජාතික රෝහල මෙලෙස ජලයෙන් යටවීමට බලපෑ හේතුවක් ලෙස කොළඹ නගර සභාව විසින් නොරිස් ඇළ නිසි පරිදි පිරිසිදු කර නඩත්තු නොකිරීම පෙන්වා දී තිබේ.

එමෙන්ම නොරිස් ඇළ දෙපස සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සහ වෙළඳසැල්වලින් අවිධිමත් ලෙස ඇළට කසළ බැහැර කිරීමද මෙම තත්ත්වයට බලපා ඇති බව වාර්තා වේ.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

විශේෂයෙන් මරදාන, බොරැල්ල සහ බම්බලපිටිය ආශ්‍රිත මාර්ග ජලයෙන් යටවී තිබූ අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ පස්වරුවේ පැය කිහිපයක් ඇතුළත කොළඹ ප්‍රදේශයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button