ප්‍රධාන පුවත්

කොටිකම්බොක්ක තිරුවානා නිධිය නිරීක්ෂණයට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

 

අනවසර කැණීම් නවත්වමින් තිරුවානා නිධිය ආරක්ෂා කිරීමට තීරණ රැසක්

 

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි, මේ වන විට කැණීම් කටයුතු සිදු නොවන කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01) එම ස්ථානයට පැමිණ තිබේ.

 

මෙම නිරීක්ෂණයේදී, නිධියේ සිදුවන අනවසර කැණීම් නවත්වීම සහ එම ස්වභාවික සම්පත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගැනීමට එකඟතාවයට පැමිණ ඇත.

 

ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පහත තීරණවලට එළඹ ඇත.

 

නිධිය ආරක්ෂා කිරීම – අනවසර කැණීම්කරුවන්ගෙන් මෙම වටිනා ස්වභාවික සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීම.

 

සීමා නිරීක්ෂණය හා වාර්තා කිරීම – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිධිය පිහිටි ප්‍රදේශයේ සීමා නිශ්චිතව සලකුණු කිරීමත්, රාජකාරි කටයුතු සිදුකිරීමේදී ඇතිවන බාධා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් ප්‍රාදේශීය ලේකම්වරිය වෙත යොමු කිරීම.

 

මූලික විද්‍යාත්මක ගවේෂණයන් අනුව, මීටර් 700ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිධියේ මෙට්‍රික් ටොන් බිලියන 3.1කට ආසන්න අතිවිශාල තිරුවානා සංචිතයක් පවතින බව හඳුනාගෙන ඇත.

 

සංචිත ප්‍රමාණය යළි ගණනය කිරීම – නවීන හා නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරමින් නිධියේ පවතින සංචිත ප්‍රමාණය යළි ගණනය කිරීමට පියවර ගැනීම.

 

විනිවිදභාවයෙන් යුත් කැණීම් ක්‍රියාවලිය – පවතින නීතිමය සහ පාරිසරික ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව, විධිමත් කැණීම් කටයුතු සඳහා කඩිනමින් අභිලාෂ කැඳවීමට කටයුතු කිරීම.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button