
කුවේටයට ගෘහ සේවකයන් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 10කට පමණයි
කුවේට් රාජ්‍යය වෙත ගෘහ සේවකයන් බඳවා ගැනීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ගෘහ සේවක ක්ෂේත්රය වඩාත් විධිමත්ව නියාමනය කිරීමේ අරමුණින් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නව නීති මාලාවක් හඳුන්වා දී ඇති බවය.
එම නව ක්‍රියාමාර්ග යටතේ ගෘහ සේවකයන් බඳවා ගැනීම සඳහා රටවල් 10කට පමණක් අවසර ලබා දී ඇති අතර රටවල් 27කින් සේවකයන් ගෙන්වීම තහනම් කර ඇත.
සේවකයන් ගෙන්වීමට අවසර ඇති රටවල් 10
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, නේපාලය, දකුණු අප්‍රිකාව, බෙනින්, එරිට්රියාව සහ ඉතියෝපියාව යන රටවල් 9 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අවසර ලබා දී ඇති අතර සෙනගාලය යන රටින් සේවකයන් බඳවා ගැනීම පිරිමි අයට පමණක් සීමාකර තිබේ.
තවත් රටවල් 27කින් ගෘහ සේවකයන් බඳවා ගැනීම අත්හිටුවා ඇති අතර, ඒ අතර කෙන්යාව, උගන්ඩාව, නයිජීරියාව, මැඩගස්කරය සහ භූතානය ද ඇතුළත් වේ.
කෙසේවෙතත්, එම තහනම යටතේ ඇතැම් රටවල කාන්තා සේවිකාවන් බඳවා ගැනීම පමණක් නවතා ඇති අතර පිරිමි සේවකයන් බඳවා ගැනීමට තවදුරටත් අවසර ලබා දී ඇත.



