ප්‍රධාන පුවත්

කාලගුණ රතු නිවේදනයක්: නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

 

කාලගුණ රතු නිවේදනයක් නිකුත් කරමින් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාව වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු කලාපවල නාවික සහ ධීවර කටයුතුවලින් නැවත දැනුම් දෙනතුරු වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දී තිබේ.

කාලගුණ රතු නිවේදනයක් සමඟ මුහුදු ප්‍රදේශ රැසකට තද සුළං සහ රළු රළ අවදානමක්

අද (27) පෙරවරු 8ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘ඔර්නබ්’ ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්ව ඇත. අද අලුයම 2.30 වන විට එය උතුරු අක්ෂාංශ 15.9 සහ නැගෙනහිර දේශාංශ 85.4 ආසන්නයේ, කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව වාර්තාවේ.

මෙම සුළි කුණාටුව අද පස්වරු 5.30 දක්වා බටහිර දෙසට බරව වයඹ දිශාවට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ අනාවැකියේ දැක්වේ. ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කර හෙට (28) පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළුවීමට ඉඩ ඇති බව ද සඳහන් වේ.

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති මුහුදු කලාපවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 140ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකිය. එම ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතී.

තවද, මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයකට පත්විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු කලාපවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දැනටමත් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button