ප්‍රධාන පුවත්

ක්‍රිෂ් විමර්ශන වලට අදාල ඉලෙක්ට්‍රෝනික උපකරණ මුදාහරින්නැයි මෝසමක්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතරතුර පොලීසිය භාරයට ගෙන ඇති සිය පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපකරණ මුදාහරින ලෙස ඉල්ලා ඩබ්ලිව්. ඩී. එන්. එච්. පෙරේරා මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, මේ සම්බන්ධයෙන් හෙට (03) අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

අදාළ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෝසම ඉදිරිපත් කර ඇති අතර, නීතිඥ සංජය මාරඹේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ සෝදිසි වරෙන්තුවක් අනුව නිවස පරීක්ෂා කළ නිලධාරීන් විසින් අයදුම්කරුට සහ ඔහුගේ පුත්‍රයාට අයත් ලැප්ටොප් පරිගණක හා ඇපල් වර්ගයේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එම උපකරණ නොමැති වීම හේතුවෙන් බැංකු කටයුතු ඇතුළු දෛනික කාර්යයන් සිදුකර ගැනීමට බාධා මතුවී ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.

විමර්ශන සඳහා අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට අයදුම්කරු සූදානම් බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, ඒ හේතුවෙන් අදාළ ඉලෙක්ට්‍රෝනික උපකරණ මුදාහරින ලෙස නියෝගයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම ඉල්ලීම පිළිබඳ හෙට (03) කරුණු විමසීමට නියම කරමින් අදාළ නොතීසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button