ප්‍රධාන පුවත්

කස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට 20 වැනිදා අධිකරණයට කැඳවීමක්

කස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබේ.

කස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට නොතීසි නිකුත් කිරීමට හේතුව

අනුරාධපුර රුවන්වැලි මහසෑ පරිශ්‍රය ආසන්නයේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මෙලෙස අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

අනුරාධපුර පූජා නගරය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නව සැලැස්මට විරෝධය පළ කරමින් එය ඉවත් කරගන්නා ලෙස රජයට බල කිරීමේ අරමුණින් මෙම සත්‍යග්‍රහය පැවැත්වේ.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස මීට පෙර අධිකරණය ලබාදුන් තාවකාලික තහනම් නියෝගය ඉවත් කරන ලෙස උන්වහන්සේලා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කර තිබිණි. එම මෝසම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නොතීසි නිකුත් කර ඇත.

එහිදී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ රුවන්වැලිසෑ මළුවේ නොව දන්සැල් භූමියේ බවයි. එම ස්ථානයේ පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් මහජනතාවට කිසිදු බාධාවක් සිදු නොවන බවද ඔවුන් අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම පසුගිය 7 වැනිදා පොලිසිය විසින් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන ඇත්තේ අධිකරණය නොමඟ යවමින් බවටද නීතිඥවරුන් චෝදනා කර ඇත.

කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ අදාළ සත්‍යග්‍රහය හේතුවෙන් මහජනතාවට පීඩාවක් සිදුවන බව විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇති බවයි.

අධිකරණය මීට පෙර ලබාදුන් නියෝගවලටද භික්ෂූන් වහන්සේලා අවනත වී නොමැති බව ඔහු එහිදී පෙන්වා දී තිබේ.

තවද, එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන භික්ෂූන් වහන්සේලා පස් නමට මෙලෙස අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

මීට පෙර අධිකරණය ලබාදුන් තාවකාලික තහනම් නියෝගය මගින් පුරාවිද්‍යා ස්මාරක හෝ වෙනත් දේපළවලට හානි නොකරන ලෙසත්, රුවන්වැලි මහසෑ පරිශ්‍රයේ ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගන්නා ලෙසත් භික්ෂූන් වහන්සේලාට දැනුම් දී තිබිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button