ප්‍රධාන පුවත්

එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු නිකුත් කෙරේ

එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු නිකුත් කරමින් ඔවුන් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද (17) නියෝග කළේය.

අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස උද්ඝෝෂණයක නිරත වූ බවට විභාග වන නඩුවකට අදාළව ඇප මත සිටි සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර තිබේ.

මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, උදයංග කුමාර සහ කොස්වත්තේ මහානාම හිමියන්ටය.

නඩුව ලබන දෙසැම්බර් 4 වැනිදා දක්වා කල් තැබූ අධිකරණය, ඇපකරුවන්ට නොතිසි ද නිකුත් කළේය.

අද පැවති නඩු විභාගයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා, ජෙහාන් අප්පුහාමි, රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.

කොටුව පොලිසිය විසින් ගොනු කර ඇති මෙම නඩුවේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් උද්ඝෝෂණ පැවැත්වීම සහ පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button