ප්‍රධාන පුවත්

උත්සව සමයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දිවයින පුරා විශේෂ මෙහෙයුම්

උත්සව සමය ආරම්භ වීමත් සමඟ මහජන සෞඛ්‍ය ආරක්ෂාවට වැඩි අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සංස්කාරක අනුර තිලකසිරි මහතා ප්‍රකාශ කළේ, මෙම මෙහෙයුම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000කට ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටින අතර, ඔවුන් ප්‍රාදේශීය සභා හා නගර සභා මට්ටමින් ක්‍රියාත්මක වන බවයි.

මෙම මෙහෙයුම් යටතේ ආහාර අලෙවි කරන ස්ථාන විශේෂයෙන් පරීක්ෂා කිරීම, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ වෙළෙඳුන්ට උපදෙස් ලබාදීම සිදු කරනු ඇත.

විශේෂයෙන් උත්සව සමයට අදාළව සකස් කරන රස කැවිලි, කේක්, බිස්කට් වැනි ආහාර නිෂ්පාදන පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරෙන අතර, එම නිෂ්පාදනවල ලේබල් සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම්, තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත පැමිණිලි කිරීමට මහජනතාවට උපදෙස් ලබා දී ඇත.

එවැනි පැමිණිලි ලැබෙන අවස්ථාවලදී නීතිමය බලතල භාවිතා කරමින් අදාළ වෙළෙඳුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා අතර, ආහාර පනත යටතේ නඩු පැවරීම සහ අවශ්‍ය නම් දඩ හෝ සිර දඬුවම් පවා ලබාදීමට හැකි බවද සඳහන් වේ.

එබැවින්, වෙළෙඳුන් සිය ආහාර නිෂ්පාදන සහ අලෙවිය සම්බන්ධයෙන් නීතිරීති පිළිපදිමින් ක්‍රියා කළ යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button