සෞඛ්‍යය

උත්සව සමයේ ආරක්ෂාව ගැන GMOA අනතුරු ඇඟවීමක් – රෝහල් 24 පැය සේවාවන් සූදානම්

අලුත් අවුරුදු උත්සව සමය හමුවේ ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අවධාරණය කරයි. දිවයින පුරා රෝහල් සියල්ල පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගීන්ට සේවය සැපයීමට සූදානම්ව සිටින බව GMOA සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කර ඇත.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ උත්සව සමයේදී පුද්ගලික ආරක්ෂාවට මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාවට ද සමාන වශයෙන් වැදගත්කම ලබාදිය යුතු බවයි. විශේෂයෙන් ගිනිකෙළි භාවිතයේදී අතිශය සැලකිලිමත් විය යුතු අතර, කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරු පසුගිය කාලය තුළ අඩුවක් පෙන්වූ බවත්, එම ප්‍රවණතාව මෙම උත්සව සමය තුළ ද පවත්වාගෙන යාම අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම, උත්සව සමයේදී රිය අනතුරු සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින්, රිය පැදවීමේදී හා මාර්ග භාවිතයේදී අතිශය සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බවද ජනතාවට දැනුම් දී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

”ඒ වගේම අධික වේගයෙන් යන්න එපා… අධික වේගය මාරයා වෙත ඔබ ළං කරයි…ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කර කිසිම හේතුවක් මත වාහන ගෙනියන්න එපා…අධික වෙහෙස නිදිමත මේ අනතුරුවලට තවත් හේතුවක් මේ නිසා මේ පිළිබඳ අවධානය යොමු කර ගමන් බිමන් යන්න… ඒ වගේම මේ අවුරුදු සමය තුළ පිරිසුදු ආහාර පමණක් ආහාරයට ගන්න.. අපි වෙළඳුන්ටත් උපදෙස් දෙනවා අපිරිසිදු ආහාර අලෙවි කරන්න එපා.. ආහාර සැකසීමේ දී ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ගන්න.. වියළි කාලගුණය සමඟ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.. මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න.. පිරිසුදු ජලය පමණක් භාවිතා කරන්න.. හැකිතාක් උණු කර නිවාගත් ජලය පානය කරන්න.. දීර්ඝ කාලීන රෝගවලට ප්‍රතිකාර ගන්න පුද්ගලයෙක් නම් ඖෂධ ගන්න අමතක කරන්න එපා. මේ අවුරුදු සමය තුළ පැණි රස ආහාර වැඩිපුර ගන්නවා ඒ වගේම පරිභෝජන රටාව වෙනස් වෙනවා.. ඒ නිසා දීර්ඝ කාලීන ලෙඩ රෝග තියන අය ඒ කියන්නේ දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග තියන අය බෙහෙත් බොන්න.. මොකද උත්සව සමය අවසන් වූ පසු රෝහලට එන ප්‍රමාණය වැඩිවෙනවා.. මේ නිසා ආහාර රටාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button