
මෝටර් රථ ප්‍රවාහන සේවා තවදුරටත් පුළුල් කරයි – වේලාවන් වෙන්කර ගැනීම අනිවාර්යයි
මෝටර් රථ ප්‍රවාහන සේවා තවදුරටත් පුළුල් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු අයුරින් සේවා සැපයීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ යටතේ එක්දින සහ සාමාන්‍ය සේවාවන් පුළුල් කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන සේවා ලබාගැනීමට වේලාවන් වෙන්කරගත යුතු ආකාරය
කෙසේ වෙතත්, එක්දින සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් පැමිණීමට පෙර අනිවාර්යයෙන්ම වේලාවක් වෙන්කරවා ගත යුතු බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වාහන නව ලියාපදිංචිය, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු මෙන්ම තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සේවාවන් රැසක් මෙම ක්‍රමය යටතේ ලබාගත හැකිය.
එක්දින සේවාව සඳහා වේලාවන් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක භාවිත කළ හැකිය.
- කොළඹ – 011 2 117 116
- ගම්පහ – 033 2 117 116
- කුරුණෑගල – 037 2 117 116
- හම්බන්තොට – 047 2 117 116
- අනුරාධපුරය – 025 2 117 116
- යාපනය – 021 2 117 116
මෙම කාර්යාල හරහා යතුරුපැදි සඳහා පමණක් නව ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම එක්දින සේවාවන් සඳහා වේලාවන් වෙන්කරවා ගැනීම dmtappointments.dmt.gov.lk නිල වෙබ් අඩවිය ඔස්සේද සිදුකරගත හැකිය.
මේ අතර, දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාගැනීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද දැනුම් දී තිබේ.
සාමාන්‍ය වාහන අයිතිය පැවරීමට අදාළ ලිපි ලේඛන භාරදීමේ පහසුකමද පුළුල් කර ඇත. ඒ අනුව නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද එම ලේඛන භාරදිය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



