ප්‍රධාන පුවත්

සරසවි උයන – පේරාදෙණිය නව දුම්රිය පාලමට කැබිනට් අනුමැතිය

 

සරසවි උයන – පේරාදෙණිය නව දුම්රිය පාලමක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මහනුවර නගරය සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ප්‍රවාහන ජාලයක් සංවර්ධනය කිරීමේ සැලසුමේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සරසවි උයන – පේරාදෙණිය නව දුම්රිය පාලම ඉදිකිරීමේ සැලසුම

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය ලබාදී ඇති අතර, අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් දැනට සිදුකරමින් පවතී.

මෙම වැඩපිළිවෙළ යටතේ මහනුවර දුම්රිය ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම සඳහා ප්‍රධාන සංවර්ධන කටයුතු දෙකක් සැලසුම් කර ඇත.

ඒ අනුව, කඩුගන්නාව සිට පේරාදෙණිය හරහා ගම්පොළ දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට නියමිතය. එසේම, පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා දිවෙන මාතලේ දුම්රිය මාර්ගය ද ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

දැනට පවතින තනි දුම්රිය මාර්ග හේතුවෙන් දුම්රිය ධාවනයේදී ඇතිවන ධාරිතා සීමාවන් සහ ප්‍රමාදයන් අවම කිරීම මෙම සංවර්ධන කටයුතුවල ප්‍රධාන අරමුණකි. එමඟින් දුම්රිය ජාලයේ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ මාර්ග අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවේ ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ද සැලසුම් කර ඇත.

එම මූල්‍ය ආධාර යොදා ගනිමින් සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට නියමිතය. එමඟින් මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button