ප්‍රධාන පුවත්

ඇවන්ගාඩ් ගිවිසුම් ගැන කෝප් කමිටුවෙන් පරීක්ෂණයක්

ඇවන්ගාඩ් ගිවිසුම් හරහා රජයට සිදුවූ බව කියන පාඩුව සම්බන්ධයෙන් සොයාබැලීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ රක්නා ආරක්ෂක ලංකා සමාගම පවත්වාගෙන ගිය මුහුදු ආරක්ෂණ සේවයට ඇවන්ගාඩ් පෞද්ගලික සමාගම සම්බන්ධ කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.

කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කර ඇත්තේ, එම කටයුතු සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමි වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ද කටයුතු කරන බව සභාපතිවරයා පවසා තිබේ.

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී මුහුදු ආරක්ෂණ සේවාව සඳහා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ කර ගැනීම පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

එම සමාගම සම්බන්ධ කර ගැනීමට අදාළ ගිවිසුම් ඇති කරගනු ලැබුවේ කුමන පාර්ශ්වයක අවශ්‍යතාව මතදැයි කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතා ද එහිදී විමසා ඇත.

ඒ අනුව ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් පවතින සියලු ගිවිසුම් අවලංගු කිරීමේ හැකියාව පිළිබඳව ද සොයා බැලීමට කෝප් කමිටුව අවධානය යොමු කර තිබේ.

එමෙන්ම අදාළ ගිවිසුම් හරහා රජයට සිදුවූ බව කියන පාඩුව අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීමට නියමිතය.

මෙම ක්‍රියාවලියට සහය ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button