ප්‍රධාන පුවත්

ආපදා විපතට පත් ජනතාවට සහන කඩිනම් කිරීමට ජනාධිපති ලේකම්ගේ උපදෙස්

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන ප්‍රගති සමාලෝචන රැස්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය හිදී පැවැත්වුණි. මෙම රැස්වීම ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වගකීම් දරන සියලු ආයතන අතර සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. වෙන වෙනම සැලසුම් සහ කාර්යභාර තිබුණද, ඒවා එක් යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකව ඉටු කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, නිවැරදි තොරතුරු හුවමාරුව සහ විශ්වාසනීය දත්ත මත තීරණ ගැනීම තුළින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම කඩිනම් කළ හැකි බවද සඳහන් විය.

ආපදාවට ලක්වූ සහ අවදානම් ප්‍රදේශවල ජනතාව සඳහා නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ද මෙහිදී විශේෂ අවධානයට ලක් විය. සුදුසු ඉඩම් හඳුනාගෙන, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන පරීක්ෂණ සහ නිර්දේශ අනුව කඩිනමින් නිවාස ඉදිකිරීමට කටයුතු කරන බව සඳහන් කෙරිණි.

එමෙන්ම, ආපදාවට පත් ජනතාවට ගෙවිය යුතු වන්දි මුදල් සහ දීමනා ඉක්මනින් ලබාදෙන ලෙසත්, දීමනා නොලැබූ පිරිස්ගේ අභියාචනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොත්තා මහතා ඇතුළු රජයේ අදාළ ආයතන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button