
අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹේ – මාර්තු 28ට පෙර නිවෙස් සංගණනයක්
අස්වැසුම පළමු අදියර සඳහා (2022/2023) අයදුම් කළ ප්රතිලාභ ලබන සහ නොලබන සියලු පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
2002 අංක 24 දරන සුබසාධක ප්රතිලාභ පනතේ 23 වන වගන්තියට අනුව ප්රතිලාභ ලබන පුද්ගලයින්ගේ නාම ලේඛනය වාර්ෂිකව යාවත්කාලීන කිරීම අනිවාර්ය බැවින් මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.
මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයින් 2,993,558 දෙනෙකු දැනටමත් සිය තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එම තොරතුරු තහවුරු කිරීම සඳහා දිවයින පුරා සංගණන කටයුතු සිදුකරමින් පවතින බවද වාර්තා වේ.
අදාළ වසම භාර සංගණන නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත පැමිණ ඔවුන් ලබාදුන් තොරතුරු සත්‍යදැයි පරීක්ෂා කරනු ඇති අතර මෙම සංගණන කටයුතු මාර්තු 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
සංගණන නිලධාරීන් නිවසට පැමිණෙන අවස්ථාවේදී පවුලේ අවුරුදු 18ට වැඩි සියලු සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත්, පසුගිය මාස තුනක විදුලි බිල්පත්, ඉඩම් හිමිකම් තහවුරු කරන ලේඛන, වාහන හිමිකම් බලපත්‍ර (ඇත්නම්) සහ වෛද්‍ය සහතික ඇතුළු අදාළ ලිපි ලේඛන සූදානම් කර තබාගන්නා ලෙසද දැනුම් දී තිබේ.
එමෙන්ම වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන ආධාර වෙනුවෙන් අයදුම් කළ පුද්ගලයින්ගේ තොරතුරුද මෙම සංගණන ක්‍රියාවලිය තුළදී පරීක්ෂා කිරීමට නියමිතය.
අදාළ තොරතුරු ලබාදීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නීති විරෝධී බවද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි. සුබසාධක පනතේ 20 වන වගන්තියට අනුව එවැනි වරදක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ වරදකරු කරනු ලැබුවහොත් රුපියල් 5,000ක දඩයක් හෝ වසරක කාලයක් දක්වා සිරදඬුවමක් හෝ එම දඩ හා සිරදඬුවම් දෙකම නියම කළ හැකි බවද සඳහන් වේ.



