
මැදපෙරදිග යුද ගිනි දැල් නිසා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සඳහා විශේෂ කමිටු රැස්වීමක්
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුමට සහ ආහාර සුරක්ෂිතතාවයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඊයේ (06) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව වාර්තා වේ.
ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාම, එළඹෙන උත්සව සමය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ වෙළෙඳපොළ තුළ ආහාර ද්‍රව්‍ය මිලවල ඇතිවන උච්ඡාවචනයන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.
එසේම, මෙරට ආහාර නිෂ්පාදනය සහ ධීවර කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබේ.
තවද කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී යම් හේතුවක් මත අපනයන රටවල් විසින් සීමා පනවනු ලැබුවහොත් එය කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයින්ද එක්ව සිටියහ.



