ප්‍රධාන පුවත්

අපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රයේ දෝෂයෙන් රෝගීන් 1,500ක් අසීරුවේ

මහරගම අපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට නියමිත රෝගීන් 1,500කට ආසන්න පිරිසකට ප්‍රතිකාර ආරම්භ කිරීමේ ප්‍රමාදයකට මුහුණ දීමට සිදුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මෙම ගැටලුව හේතුවෙන් රෝගීන්ට නියමිත කාලයට විකිරණ ප්‍රතිකාර ලබාදීම අභියෝගයක් වී ඇති බවයි.

රෝහලේ භාවිත කළ පැරණි CT සිමියුලේටර් යන්ත්‍රය ඉවත් කර ඒ වෙනුවට නව යන්ත්‍රයක් ස්ථාපනය කර තිබේ. එය පසුගිය මාසයේදී රෝහල් කාර්ය මණ්ඩලයට භාරදී තිබුණද, මේ දක්වා ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

නව යන්ත්‍රයේ මෘදුකාංග සහ විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා භාවිත කරන මෘදුකාංගය අතර පවතින නොගැළපීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මාස කිහිපයක සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කර තිබුණද, මේ වන තෙක් ඊට විසඳුමක් ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.

විකිරණ ප්‍රතිකාර ප්‍රමාද වීමේ අවදානම

අදාළ යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන්ගේ Linear Accelerator විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමද ප්‍රමාද වී තිබේ. රෝගීන් 1,500කට ආසන්න පිරිසකගේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම සඳහා තවදුරටත් කාලයක් ගතවිය හැකි බැවින්, මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය බව සංගමය අවධාරණය කරයි.

විශේෂයෙන්ම, ඇතැම් රෝගීන් ශල්‍යකර්මයකින් හෝ රසායනික ප්‍රතිකාරවලින් අනතුරුව විකිරණ ප්‍රතිකාර සඳහා යොමු කරන බැවින්, එම ප්‍රතිකාර නියමිත කාලසීමාව තුළ සිදු කිරීම වැදගත් බවද චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දුන්නේය.

මේ අතර, අදාළ විකිරණ ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් ලබාගැනීමේදී එක් රෝගියෙකුට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 20 දක්වා මුදලක් වැය කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

එබැවින්, රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර ප්‍රමාදයකින් තොරව ලබාගැනීමට හැකි වන පරිදි අපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රයේ තාක්ෂණික ගැටලුව කඩිනමින් විසඳිය යුතු බව සංගමය අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button