ප්‍රධාන පුවත්

දඹදිව වන්දනා ෆ්‍රී වීසා යළි ඇරඹේ

දඹදිව වන්දනා ෆ්‍රී වීසා ක්‍රමය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා යළි ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට සංචාරය කිරීම සඳහා වීසා කඩිනමින් හා පහසුවෙන් නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, විද්‍යුත් (e-Visa) පහසුකමද භාවිත කළ හැකි බව සඳහන් වේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා වීසා අයදුම් කරන පුද්ගලයන් පළමුව අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත සම්පූර්ණ කළ යුතු අතර, අනතුරුව කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකළපුව පිහිටි ඉන්දීය කොන්සියුලර් අයදුම් මධ්‍යස්ථාන වෙත ලේඛන භාරදිය යුතුය.

බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු දඹදිව වන්දනා ගමන් සඳහා වීසා කඩිනමින් නිකුත් කරන බවද එම නිවේදනයේ දැක්වේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත, වන්දනාකරුවන් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් සඳහා දඹදිව වන්දනා ෆ්‍රී වීසා පහසුකම යළි හඳුන්වා දී තිබේ.

වීසා සේවා සපයන ආයතනය වෙනස් කිරීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ මෙම වැඩසටහන, නව සේවා සපයන්නා 2026 ජූලි 7 වැනිදා සිට කටයුතු ආරම්භ කිරීමත් සමඟ නැවත ක්‍රියාත්මක කර ඇත.

වන්දනාකරුවන්ට කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව ICAC මධ්‍යස්ථාන වෙත ගොස් ජෛවමිතික දත්ත ලබාදිය හැකි අතර, ඉන්දීය රජයේ නව රෙගුලාසි අනුව වයස අවුරුදු 12 සිට 70 දක්වා පුද්ගලයන් සඳහා එය අනිවාර්ය වේ.

මෙම ජෛවමිතික දත්ත ලබාගැනීම හේතුවෙන් ඉන්දියාවට පැමිණීමෙන් පසු ආගමන හා විගමන කටයුතු වඩාත් වේගවත් හා පහසු වන බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

දඹදිව වන්දනා ෆ්‍රී වීසා ක්‍රමය යටතේ අයදුම් කරන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගෙන් වීසා ගාස්තුවක් අය නොකෙරෙන අතර, වීසා සේවා සැපයීම වෙනුවෙන් ICAC ආයතනය වෙත රුපියල් 1,855ක සේවා ගාස්තුවක් පමණක් ගෙවිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button