
අනෝජන් සිවරාසාට නිදහස – ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර
අනෝජන් සිවරාසාට නිදහස
සෞදි අරාබියේ අධිකරණය හමුවේ චෝදනාවලට ලක්ව සිටි අනෝජන් සිවරාසා නිදහස් කර තිබේ. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
අනෝජන් සිවරාසාට නිදහස හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික පියවර
අනෝජන් සිවරාසාගේ පවුලේ ඥාතීන් අද (11) විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණ සිය පුත්‍රයා නිදහස් කර ගැනීම වෙනුවෙන් සහාය ලබාදුන් ජනාධිපතිවරයා ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලට සහ නිලධාරීන්ට ස්තුතිය පළ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ සහාය හේතුවෙන් අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබාදුන් සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතනවලට සහ නිලධාරීන්ට මෙන්ම සෞදි අරාබියට ගොස් කටයුතු කළ නීතිඥ කණ්ඩායමට ද එහි ගෞරවය හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අනෝජන් සිවරාසාට නිදහස හිමිවීම දක්වා වූ පසුබිම
2026 සැප්තැම්බර් 17 වැනිදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ අභියාචනා අධිකරණයක් විසින් අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කර තිබුණි. අපහාසාත්මක යැයි සැලකුණු ෆේස්බුක් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොනු කර තිබූ චෝදනා ඊට හේතු වී තිබුණි.
කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික සහ වෙනත් මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය ඔක්තෝබර් 14 වැනිදා එරට අධිකරණය විසින් ඔහුට නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කිරීමට පියවර ගෙන තිබුණි.
එම තීරණයෙන් අනතුරුව ද ඔහුට පනවා තිබූ අනෙකුත් දඬුවම්වලින් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය අඛණ්ඩව රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදුකර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස අනෝජන් සිවරාසාට සම්පූර්ණ නිදහස හිමිව ඇති අතර, මෙම නඩු කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන නොයෑමට සෞදි අරාබියේ අභිචෝදක කාර්යාලය 2026 නොවැම්බර් 09 වැනිදා තීරණය කර තිබේ.
ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.



