
අසිත නිරෝෂණට දිනන දකුණෙන් අභියෝගයක්
පාර්ලිමේන්තුවේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකය සිය විරෝධය පළ කර තිබේ.
එම සාමූහිකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය කිසිදු සාක්ෂියකින් තහවුරු නොකළ, නීතිඥ සංගමයේ කීර්තිනාමයට හානි කළ හැකි ද්වේෂ සහගත ප්‍රකාශයක් ලෙස තමන් සලකන බවයි.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී අසිත නිරෝෂණ මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන සම්බන්ධතාවක් පවතින බවට චෝදනාවක් ඉදිරිපත් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළේ, එම චෝදනා සත්‍ය පදනමකින් තොර අතර ජනතාව නොමඟ යැවිය හැකි බවයි. එමෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ නොව, පාර්ලිමේන්තුවෙන් පිටතදීද එම ප්‍රකාශය නැවත සිදු කරන ලෙස මන්ත්‍රීවරයාට අභියෝගයක් ද එල්ල කර තිබුණි.
දිනන දකුණ සාමූහිකය පවසන්නේ, නීතිඥ සංගමය ඉදිරිපත් කළ එම අභියෝගය භාරගෙන තම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතද ඉදිරිපත් කිරීමෙන් අසිත නිරෝෂණ මහතා තම දේශපාලන සදාචාරය ඔප්පු කළ යුතු බවයි.
තවද, නීතිඥ ප්‍රජාවගේ ගෞරවය, නීති ක්ෂේත්රයේ ස්වාධීනත්වය සහ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවද එම සාමූහිකය අවධාරණය කරයි.
එසේම, බලයේ සිටින ආණ්ඩුව කුමක් වුවද ප්රජාතන්ත්රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිරන්තරයෙන් ස්වාධීන ස්ථාවරයක සිට කටයුතු කර ඇති බව තමන්ගේ විශ්වාසය බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



