ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ එල් නිනෝ තත්ත්වය වර්ධනය වෙයි | වැසි රටාවේ වෙනසක්

ශ්‍රී ලංකාවේ එල් නිනෝ තත්ත්වය වර්ධනය වෙයි – වැසි රටාවේ වෙනසක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව තුළ මේ වන විට එල් නිනෝ තත්ත්වය ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව දැනට පවතින දුර්වල එල් නිනෝ තත්ත්වයෙන් මධ්‍යස්ථ මට්ටමක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට වැසි රටාවේ වෙනස්කම් සිදුවිය හැකි බවත්, ඇතැම් අවස්ථාවලදී එම තත්ත්වය ගංවතුර අවදානමක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේදී වැසි අඩුවීම පමණක් නොව, ඇතැම් ප්‍රදේශවල වැසි වැඩිවීමක් සහ සාමාන්‍ය වැසි රටාවේ වෙනස්කම්ද සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.

ඒ අනුව නිරිතදිග මෝසම්, ඊසානදිග මෝසම් සහ අන්තර් මෝසම් කාලවල වැසි රටාවන් මෙන්ම උෂ්ණත්ව තත්ත්වයන් කෙරෙහිද එල් නිනෝ බලපෑම් ඇති කළ හැකි බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා,

“එල් නිනෝ කියන සංසිද්ධිය මේ වෙනකොට ක්‍රියාත්මකයි. එල් නිනෝ තත්ත්වයක තමයි අපි ඉන්නේ. ලෝකයට දැන් දුර්වල මට්ටමේ එල් නිනෝවක් තමයි හටගෙන තියෙන්නේ. එල් නිනෝවක් අවස්ථා 4කට වර්ගීකරණය කරනවා. ඒක දුර්වල එල් නිනෝවක් වෙන්න පුළුවන්, නැත්නම් මධ්‍යස්ථ එකක් වෙන්න පුළුවන්, ප්‍රබල එල් නිනෝවක් වෙන්න පුළුවන්, අති ප්‍රබල එල් නිනෝවක් වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නේ දුර්වල එල් නිනෝවේ සිට මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් පවතින එල් නිනෝවක.. මේ වෙනකොට ලංකාව ඇතුළු ලෝකයේ ගොඩක් රටවලට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම් පටන් අරන් තියෙන්නේ… මේ එල් නිනෝවක් අද ඇවිත් හෙට ඉවර වෙන්නේ නෑ. මේක ඇත්තටම ගත්තොත් මාස 10-12ක් අවුරුද්දක් දක්වා තියෙන්න පුළුවන්. එල් නිනෝ කියන එක අවුරුද්දක්ම අපිට පායන්නෙත් නෑ, අවුරුද්දක්ම අපිට වහින්නෙත් නෑ ඒක තමා අපි පැහැදිලිව කියන්නේ එල් නිනෝ සංසිද්ධියත් එක්ක අපේ නිරිත දිග මෝසම, ඊසාන දිග මෝසම ඒ වගේම අපේ අන්තර් මෝසම් වගේම මේ වැසි රටාවන් සහ උෂ්ණත්වයට බලපෑම් කිරීමක් තමයි මේ එල් නිනෝවෙන් සිද්ධ වෙන්නේ. අපි පැහැදිලිව කියන්නේ අපේ නිරිත දිග මෝසමේ වැස්ස අඩු කරනවා ඊසානදිග මෝසමේ වැස්ස මුල් කාලයේ තරමක් වැඩිවෙනවා. ඊසානදිගේ අවසාන කාලයේදී වැස්ස අඩුවෙනවා. හැබැයි අපේ ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෝසම් කාලයේදී උෂ්ණත්වය තරමක් වැඩි වුණත් වැස්ස වැඩි වෙනවා. ඒ නිසා ඔක්තෝබර් නොවැම්බර් කාලවලදි සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැසි ලැබේවි. සමහර අවස්ථාවල ගංවතුරක් එන්නත් පුළුවන්.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button