සෞඛ්‍යය

උණ වැළඳුණු ළමුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න – සෞඛ්‍ය අංශ

උණ වැළඳුණු ළමුන් ඇත්නම් අවදානයෙන් සිටින්න

උණ රෝග ලක්ෂණ පවතින දරුවන් ප්‍රමාදයකින් තොරව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ ළඟම පිහිටි රජයේ රෝහලකට රැගෙන යා යුතු බව සෞඛ්‍ය අංශ මව්පියන්ට දැනුම් දෙයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කළේ, නිවෙස්වල අත්බෙහෙත් කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබාදිය හැකි වටිනා කාලය අහිමි වන බැවින් එවැනි ක්‍රියාමාර්ගවලින් වැළකී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවයි.

මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගයෙන් පෙළෙන ළමුන් 50 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන අතර, ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද ඔහු පෙන්වා දෙයි. රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් ධාරිතාවයටද බලපෑම් එල්ල විය හැකි බව ඔහු අවධාරණය කර ඇත.

එමෙන්ම දුර ප්‍රදේශවල සිට සෘජුවම රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමට වඩා, පළමුව ළඟම ඇති රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා අවශ්‍ය නම් එම රෝහල මඟින් යොමු කිරීම වඩාත් සුදුසු බවද ඔහු සඳහන් කරයි.

එහිදී අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා,

”දිනකට අපේ රෝහලේ සිටින ඩෙංගු සම්බන්ධ රෝගීන් 50ක ප්‍රමාණයක්. ඒ අතරින් අසාධ්‍ය රෝගීන් ඉන්නේ හතරෙන් එකක් පමණයි. නමුත් මේ තත්ත්වය මීට එහාට වර්ධනය වුණොත් අපිට ධාරිතාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම අම්මලා තාත්තලාට මතක් කරනවා තමන්ගේ දරුවන්ව උණ රෝගය සම්බන්ධයෙන් ළඟම ඇති රජයේ රෝහලට ගිහිල්ලා ඒ වෛද්‍යවරුන්ට පෙන්වන්න. ඒ වෛද්‍යවරු අවශ්‍ය වුවහොත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමු කිරීම් කරයි, ඔබගේ දරුවාව රැගෙන එන්න කියලා. එහෙම නැත්නම් ඒ ආයතනයට ඇතුළු කරගත්තට පස්සේ රෝගියාව යොමු කරයි රිජ්වේ ආර්යා ළමා රෝහලට.

විශේෂයෙන්ම කියන්න ඕනේ දුර ප්‍රදේශවල ඉඳලා තමන්ගේ බබාව අරගෙන රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණිය යුතු නෑ. බොහෝ මරණවලට හේතුව තමයි රෝහලට පැමිණීම ප්‍රමාද වීම. පැය 24කට වඩා පවතින උණ රෝගය තියෙනවා නම් වෛද්‍ය අවවාද ලබා ගැනීම සුදුසුයි. ගෙදර දවස් ගණන් ඉඳලා අත්බෙහෙත් කරලා තමන්ගේ වටිනා කාලය සහ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තිබෙන කාලය නාස්ති නොකර ඉතා ඉක්මනින් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්, රජයේ වෛද්‍යවරයෙක් ගාවට රැගෙන එන එක ඉතාම වැදගත්.”

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකින්ම තවදුරටත් සැලකිය යුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ 61 අතරින් 47ක්ම කාන්තාවන් බවයි. ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවද ඇය සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය,

“තවදුරටත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වෙන්නේ. මේ මරණවලින් 47 දෙනෙක්ම කාන්තාවන්. පිරිමි පුද්ගලයින් 17ක් මියගිහින් තියෙනවා. මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා තමන්ට උණ තියෙනවා නම් මේ දවස්වල ඩෙංගු කියලා සැක හැර දැනගැනීම කළ යුතුයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හරහා. යම්කිසි විදියකින් වෛද්‍යවරයා ඔබට නියම කරනවා නම් රුධිර පරීක්ෂාවන් කරගන්න, ඒ රුධිර පරීක්ෂාවන් කරගෙන එදිනම වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. මේ රෝගය ඇත්තටම සුව කළ හැකි රෝගයක්. ඒ නිසා සංකූලතාවලට නොයා රෝගය සුව කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button