ප්‍රධාන පුවත්

අනවසර විදුලි රැහැනකින් මියගිය යුද සෙබළාගේ මරණ රහස වසරකට පසු හෙළිවේ

අනවසරයෙන් ඇටවූ විදුලි රැහැනකට හසුව මියගිය යුද හමුදා සෙබළාගේ මරණය වසන් කළේ යැයි චෝදනා ලැබූ ඇඹිලිපිටිය කුට්ටිගල කඳවුරේ යුද හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරුණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.

සිද්ධියට අදාළව එම සැරයන්වරයා ඇතුළු සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සිද්ධියෙන් වසරකට පසුවය.

මියගිය සෙබළා වන්නේ මාතලේ මල්ගම්මන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකු වූ හෙට්ටිආරච්චිගේ චාලක මධුශාන් ජයසිංහයි. ඔහු ඇඹිලිපිටිය කුට්ටිගල ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා පුහුණු කඳවුරට අනියුක්තව සේවය කළ සක්‍රීය සෙබළෙකි.

2025 ජනවාරි 26 වැනිදා සිට ඔහු අතුරුදන් වූ අතර, ඒ පිළිබඳ කරුණු විමසූ පවුලේ සාමාජිකයින්ට කඳවුර මඟින් ලිඛිතව දැනුම් දී තිබුණේ ඔහු සේවයෙන් පළාගොස් ඇති බවය.

එහෙත් අතුරුදන් වී දින හතකට පසු, ඔහුගේ මෘතදේහය කඳවුරු භූමියේ කැලෑබද ප්‍රදේශයකින් සොයාගෙන තිබුණි.

පවුලේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කළේය.

විමර්ශන අතරතුර කඳවුරු භූමියේ දිගු කාලයක් ගවයින් බැඳීමේ නිරතව සිටි පුද්ගලයෙකුගෙන් ලබාගත් තොරතුරු මත, සැරයන්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම සිදුකර තිබේ. එහිදී වැදගත් කරුණු රැසක් අනාවරණ වී ඇත.

සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ වගා ආරක්ෂාව හා ඌරන් දඩයම් කිරීමේ අරමුණින් 2025 ජනවාරි 26 දින කඳවුර තුළ ස්ථානයක විදුලි කම්බියක් ඇටවූ බවය. පසුව එම ස්ථානයට ගිය අවස්ථාවේදී, කඳවුරේ සෙබළෙකු විදුලි කම්බියට පැටලී බිම වැටී සිටින බව දුටු බවත්, සෝදිසි කිරීමේදී ඔහු මියගොස් ඇති බව තහවුරු වූ බවත් සඳහන් කර තිබේ.

එතැන්පසු මෘතදේහය කැලෑබද ප්‍රදේශයකට ගෙනගොස් දමා, මියගිය සෙබළාගේ ජංගම දුරකථනය සහ විදුලි කම්බි රෝල අසළ පිහිටි වැවකට දැමූ බවට ඔවුන් පාපෝච්චාරණය කර ඇත.

ඒ අනුව අපරික්ෂාකාරී ක්‍රියාවක් සිදුකිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සහ සාක්ෂි වසන් කිරීම යන චෝදනා යටතේ සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි යුද හමුදා සැරයන්වරයෙකු, යුද හමුදා සිවිල් සේවා නිලධාරියෙක්, කඳවුරේ කරණවෑමියා සහ පෑස්සුම් ශිල්පියා ඇතුළත් වේ.

සැකකරුවන් දෙදෙනෙකුගේ ප්‍රකාශ මත, ඔවුන් පසුගිය අඟහරුවාදා එම වැව පිහිටි ස්ථානයට රැගෙන ගොස් තිබුණද, මේ වනවිට වැව සිඳී ගොස් ඇති අතර සිදුකළ කැණීම්වලදී කිසිදු සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වී ඇත.

ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනා මාර්තු 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button