ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ග නඩත්තු වියදම රු. බිලියන 5 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ කිලෝමීටර් 312.57ක නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 5180.90ක පිරිවැයක් දැරෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

අද (20) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව, E1 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 200.45ක කොටස නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 2024.5ක් වැය වන බව අනාවරණය විය.

තවද, E2 පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව – කෙරවලපිටිය කොටස සඳහා රුපියල් මිලියන 767.6ක් ද, E3 කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ – සීදූව කොටස සඳහා රුපියල් මිලියන 834.1ක් ද වැය වන බව සඳහන් කෙරිණි.

එසේම, E4 මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල – යග්ගපිටිය කොටස සඳහා රුපියල් මිලියන 531ක් සහ E5 දක්ෂිණ අධිවේගී දිගුවේ අන්දරවැව – හම්බන්තොට කොටස සඳහා රුපියල් මිලියන 1022.70ක් නඩත්තු වියදම් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර, 2025 වසර තුළ අධිවේගී මාර්ග පද්ධතියෙන් සමස්ත ආදායම රුපියල් මිලියන 16330.14ක් ලෙස සටහන් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 5031.28ක්, පිටත වටරවුම් මාර්ගයෙන් රුපියල් මිලියන 4347.32ක්, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 3355.12ක් ආදායම් ලැබී තිබේ.

එමෙන්ම, දක්ෂිණ අධිවේගී දිගුවෙන් රුපියල් මිලියන 2019.45ක් සහ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 1576.97ක් ආදායම් ලැබී ඇති බවද අනාවරණය විය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button