අධ්‍යාපන

අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන අර්බුද 5ක් විසඳිය යුතුයි – අගමැතිනිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා විෂයමාලා සංශෝධනවලට පමණක් සීමා නොවී ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

කොළඹ Cathedral of Christ the Living Saviour දෙව්මැදුරේ පැවති රදගුරු සිරිල් අබේනායක අනුස්මරණ දේශනය අමතමින් ඇය මෙම අදහස් පළ කළාය. “21 වැනි සියවසේ ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීම” යන තේමාව යටතේ පැවති මෙම දේශනයේදී ශ්‍රී ලංකාවේ සමාජ විවිධත්වය හා ආගමික සහජීවනය පිළිබඳවද ඇය අවධානය යොමු කළාය.

අධ්‍යාපන ප්‍රතිපත්තිවල ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිනිය සඳහන් කළේ, කුසලතා සහ රැකියා අවස්ථා අතර නොගැලපීම මෙන්ම රාජ්‍ය අංශයේ රැකියා සඳහා ඇති අධික ඉල්ලුම ආර්ථික අභියෝග තවදුරටත් උග්‍ර කර ඇති බවයි. STEM සහ තාක්ෂණික අධ්‍යාපනයට දිගු කලක් ප්‍රමුඛත්වය ලබා දී තිබුණද, පවතින ව්‍යුහාත්මක ගැටලු විසඳීමට එය ප්‍රමාණවත් වී නොමැති බවද ඇය පෙන්වා දුන්නාය.

නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ රැකියා සඳහා පමණක් පුද්ගලයන් සූදානම් කිරීම නොව, විවේචනාත්මකව සිතන, සදාචාරාත්මක වටිනාකම් ඇති සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වගකීම් දරන පුරවැසියන් බිහිකිරීම බවද ඇය සඳහන් කළාය.

මෙහිදී අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ප්‍රධාන අභියෝග පහක්ද අගමැතිනිය හඳුනා දුන්නාය. අධ්‍යාපන ආයතන අතර පවතින අසමානතාව, සමාජ වගකීම් සහිත පුරවැසියන් බිහිකිරීමේ දුර්වලතාව, කාන්තාවන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය හා ශ්‍රම බලකා සහභාගීත්වය අතර පරතරය, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණික වෙනස්කම්වලට අනුගත වීමේ අවශ්‍යතාව සහ අධ්‍යාපනය සහතික ලබාගැනීමේ ක්‍රියාවලියක් ලෙස පමණක් සැලකීම ඒ අතර වේ.

කෘත්‍රිම බුද්ධි යුගයට සාර්ථකව මුහුණ දීම සඳහා ඩිජිටල් සාක්ෂරතාව සහ මාර්ගගත ආරක්ෂාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.

අධ්‍යාපනය යනු ලෝකය තේරුම් ගැනීම සහ එය යහපත් ලෙස පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් බව සඳහන් කළ අගමැතිනිය, ගුරු වෘත්තියට නැවතත් සමාජ ගෞරවය හිමිවන ආකාරයට එය ශක්තිමත් කළ යුතු බවද පැවසුවාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවසාන අරමුණ වන්නේ සමාජයේ සියලු ක්ෂේත්‍රවල ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයන් බිහිකිරීම බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button