
අද සිට ඉන්ධන ලබා ගැනීමට නැවත QR කේතය – සතියකට ලබාගත හැකි ප්‍රමාණත් මෙන්න
ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් මාර්ගයන්ට බලපෑම් එල්ල වී ඇති අතර ඒ සමඟම මෙරට තුළ ඉන්ධන ඉල්ලුමද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව බලධාරීන් පෙන්වා දෙයි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම සඳහා නැවතත් QR කේතය මගින් ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, අද (15) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීමේදී QR කේතය භාවිත කිරීම අනිවාර්ය වනු ඇත. ඒ අනුව දිවයින පුරා සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය ඉදිරිපත් කළ යුතු බවත්, QR කේතය නොමැති පුද්ගලයන්ට කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට හැකියාව නොලැබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
QR කේතය ලබාගන්නේ කෙසේද?
පෙර QR කේතය සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, මාර්තු 14 දින මධ්‍යම රාත්‍රියේ සිට fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස තම QR කේතය භාගත කරගත හැකි බව ද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේ නොවී වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්, අද (15) උදෑසන 6.00 සිට එම වෙබ් අඩවිය ඔස්සේ නැවත ලියාපදිංචි වීම අවශ්‍ය වේ.
එමෙන්ම පෙර QR කේතය සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) අලුතින් ලියාපදිංචි කර ඇති වාහන හිමියන්ටද 2026 මාර්තු 15 දින උදෑසන 6.00 සිට fuelpass.gov.lk වෙබ් අඩවිය මගින් නව ලියාපදිංචි කිරීම සිදු කළ හැකි බව සඳහන් වේ.
සතියකට ලබාගත හැකි ඉන්ධන ප්‍රමාණය
නව QR ක්‍රමය යටතේ වාහන වර්ග අනුව සතියකට ලබාගත හැකි ඉන්ධන ප්‍රමාණය පහත පරිදි වේ.
-
බස් රථ – ලීටර් 60
-
මෝටර් සයිකල් – ලීටර් 5
-
වෑන් රථ – ලීටර් 40
-
මෝටර් රථ – ලීටර් 15
-
මෝටර් ලොරි – ලීටර් 200
-
ඉඩම් වාහන – ලීටර් 25
-
මෝටර් ත්‍රීරෝද රථ – ලීටර් 15
-
විශේෂ කාර්ය වාහන – ලීටර් 40
-
ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5
ඒ සමඟම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) මගින් නිකුත් කිරීමට කටයුතු කරන බවද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.





