උණුසුම් පුවත්

ඉදිරි දිනවල වැසි වැඩි වෙයි – නායයෑම් රතු නිවේදන

නායයෑම් රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක කරමින් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක ජනතාවට ඉවත්වීමේ උපදෙස් නිකුත් කර තිබේ. මේ අතර ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 1,616 දෙනෙකු බලපෑමට ලක්ව ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට අයත් පවුල් 458ක්ද මෙලෙස පීඩාවට පත්ව තිබේ.

පසුගිය 18 වනදා සිට අද දක්වා අයහපත් කාලගුණය හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ රාත්‍රියේ ගම්පහ, බියගම ප්‍රදේශය හරහා හමා ගිය තද සුළං හේතුවෙන් ගලහිටියාව උතුර ග්‍රාම නිලධාරී වසමේ නිවාස 5කට හානි සිදුව තිබේ. එමෙන්ම විදුලි රැහැන් පද්ධතියටද හානි සිදුව ඇති බව වාර්තා වේ.

ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් 26කට අයත් පුද්ගලයින් 94 දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා තිබේ.

මේ අතර, අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 85.6ක් ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොටවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2ක් සහ කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ.

ගංගාවල පවතින ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා මෙලෙස පැහැදිලි කළේය.

“තෙත් කලාපයේ ප්‍රධාන ගංගාවල් කිහිපයකම තවමත් ඉහළ අගයක හෝ සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා. විශේෂයෙන්ම නිල්වලා ගඟ පහල තල්ගහලොඩ සහ අකුරැස්සෙන් පහළ ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් අඩු මෙවමින් පවතිනවා. ඒ් වගේම ගිං ගඟ පබද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ට්මක පවතිනවා. එම නිසා බද්දේගම අවට සහ පහත් බිම් ප්‍රදේශවල ජනතාව තවදුරටත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයයි. ප්‍රධාන වශයෙන්ම ගංවතුර තත්ත්වය මිල්ලකන්ද මඟුරු සහ පුටුපවුල ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වීමක් සහ සුළු ගංවතුර තත්ත්වයන් පවතිනවා. එම ප්‍රදේශයේ පිහිටි පහත්බිම් මේ වන විටත් යට වී තියෙන්නේ නමුත් තවදුරටත් ව්ශාල වැඩිවීමක් මේ දක්වා වර්ෂාපතනයක් අනුව අපේක්ෂා කරන්නේ නැ. ඒ් වගේම කැලණි ගගේ ජල මට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා ඒ් වගේම හහවැලි ගඟ ඉහළ ද්‍රෝණියේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට නෑ…”

මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි හේමසිංහ මහත්මිය සඳහන් කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

“ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාස 13ක් ආවරණය වන පරිදි අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කරනු ලැබුවා. ඒ් අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍ර.ලේ. කොට්ඨාසයටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රා.ලේ. කොට්ඨාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලය ප්‍රා.ලේ. කොට්ඨාසයටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරිණියගල, අරණායක, යටියන්තොට සහ දෙහිඔවිට ප්‍ර.ලේ. කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නොවුඩ්, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ අඹගමුව යන ප්‍රා.ලේ. කොට්ඨාසයවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍ර.ලේ. කොට්ඨාසයටත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා”

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිවා කාලයේදී වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් පැවතිය හැකි නමුත් සවස් කාලයේ සිට රාත්‍රිය දක්වා වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

හෙට සහ අනිද්දා දිනවලදීද වැසි තත්ත්වය යළිත් තරමක් වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

“මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඔ පළාත් ඒ් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද දිනයේදීත් කඩින් කඩ වැසි අපේක්ෂා කිරිමේ හැකියාව තියෙනවා. දිවා කාලයේ තරමක වැසි අඩු තත්ත්වයක් පෙන්නුවත් රාත්‍රී කාලයේ සිට වැසි වැඩීවීමක් අපිට තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ් වගේම හෙට සහ අනිද්දා දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් නැවත වතාවක් අපේන්ෂා කිරීමේ හැකියාව දැනට පවතින දත්ත මත පදනම්ව පවතිනවා. මේ නිසා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව ,මධ්‍යම, වයඔ, පළාත්වලත් ඒ් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිතව පහත්බිම්වල ජීවත්වන ජනතාව ඒ් වගේම වනායයැම් අනතුරු සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධාවෙන් කටයුතු කරන්න”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button