
ඉන්දීය උප ජනාධිපති SHRI CP RADHAKRISHNAN අද ශ්‍රී ලංකාවට
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) දිනයේ ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම සංචාරය හෙට (20) දින දක්වා පැවැත්වීමට නියමිත අතර එය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අඛණ්ඩ පියවරක් ලෙස සැලකේ.
සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, දේශපාලන සහ ප්‍රජා නායකයින් සමඟ ද හමුවීම් කිහිපයක් සිදු කිරීමට නියමිතය. එමෙන්ම දිට්වා සුළි කුණාටුවට අදාළ පුනරුත්ථාපන කටයුතු සහ සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට සම්බන්ධ අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද හුවමාරු කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දීය උප ජනාධිපතිවරයා අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා දිවයිනට ළඟා වන අතර එතැන් සිට ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලය වෙත ගමන් කරනු ඇත. ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමටද නියමිත අතර එම මාර්ග ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.
මෙම සංචාරය හේතුවෙන් අද සහ ඉදිරි දින කිහිපය තුළ අදාළ ප්‍රදේශවල රථවාහන ගමනාගමනයට සීමා පැනවීමට නියමිත බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි. ඒ අනුව මහජනතාවට විකල්ප මාර්ග භාවිතා කරමින් සැලකිලිමත් ලෙස ගමන් කිරීමට උපදෙස් ලබා දී ඇත.



