
සූදු ණය ගෙවන්න ගව පැටවුන් සොරකම් කළ පාසල් සිසුන් කොටුවේ
සූදු ක්රීඩාවකදී මුදල් අහිමි වූ මිතුරෙකුට මුදල් සොයාදීමේ අරමුණින් මී ගව පැටවුන් සොරකම් කර ඒවා එළු මස් ලෙස අලෙවි කළ බවට චෝදනා එල්ල වූ පාසල් සිසුවෙකු ඇතුළු පිරිසක් අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්ගොඩ ප්රදේශයේ ගව සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනවලදී, තල්ගස්ගොඩ ගොඩහේන ප්රදේශයේදී ප්රධාන සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ, ඔහු අම්බලන්ගොඩ ප්රදේශයේ ප්රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර, වැඩිදුර ප්රශ්න කිරීමේදී තවත් පාසල් සිසුන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මාස 3ක් සහ මාස 8ක් වයසැති මී ගව පැටවුන් දෙදෙනෙකු මෝටර් රථ දෙකකින් රැගෙන ගොස් කරන්දෙනිය පනාපිටිය ප්රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවය.
අදාළ ගව පැටවුන් දෙදෙනා පසුව කැලෑ ප්රදේශයක ගැටගසා තිබියදී සොයාගෙන ඇති අතර, ඒවා ප්රවාහනයට භාවිත කළ මෝටර් රථ දෙකද පොලීසිය භාරයට ගෙන තිබේ.
එම වාහන බටපොල ප්රදේශයේ මෝටර් රථ කුලියට ලබාදෙන ස්ථානයකින් ලබාගෙන ඇති බව හෙළිවී ඇත.
වැඩිදුර ප්රශ්න කිරීමේදී සැකකරුවන් කලක සිට එළුවන් සොරකම් කිරීමේ සිද්ධීන්ටද සම්බන්ධ බව අනාවරණය වී ඇති අතර, එළු මස් මිල ඉහළ යාම හේතුවෙන් ගව පැටවුන් මරා එළු මස් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනා බලපිටිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.



