
දෙනියාය රෝහලට ඉන්දියාවෙන් මිලියන 600ක ප්‍රදානයක්
අලුතින් ඉදිකිරීමට නියමිත දෙනියාය රෝහලට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අත්සන් තබා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
දැනට පවතින දෙනියාය රෝහල පිහිටි ප්‍රදේශය නායයෑම් ඇතුළු ස්වභාවික ආපදා අවදානම්වලට ලක්වන බැවින්, ආරක්ෂිත ස්ථානයක නව රෝහලක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.
එම නව රෝහල නවීන පහසුකම්වලින් සන්නද්ධ කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබාදීමට එකඟ වී ඇත.
නව රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට වසර තුනක පමණ කාලයක් අපේක්ෂා කරන අතර, එහි අවසන් අදියර සමඟ මෙම වෛද්‍ය උපකරණ සැපයීම සහ ස්ථාපනය කිරීම සිදු කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු සඳහා ඉන්දියාව ප්‍රකාශයට පත් කළ අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙම ප්රදානය යටතේ රෝහලේ වාට්ටු, දැඩි සත්කාර ඒකක, හදිසි අනතුරු ඒකක, ශල්‍යාගාර, රසායනාගාර, විකිරණවේද අංශය, ලේ බැංකුව, භෞතචිකිත්සක ඒකකය සහ ළදරු දැඩි සත්කාර ඒකකය ඇතුළු අංශ සඳහා නවීන වෛද්‍ය උපකරණ ලබා ගැනීමට නියමිතය.



