
වී මිලදී ගැනීම් සඳුදා සිට ඇරඹෙයි – නාඩු කිලෝව රු.120යි
වී මිලදී ගැනීම් සඳුදා සිට ආරම්භ කිරීමට සැලසුම්
වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම් එළැඹෙන සඳුදා (13) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ, මේ වන විට වැඩි වශයෙන් වී අස්වනු නෙළන ප්‍රදේශ ආශ්‍රිතව ගබඩා විවෘත කරමින් මිලදී ගැනීම් කටයුතු ආරම්භ කරන බවයි.
ඒ අනුව උතුරු, නැගෙනහිර සහ අම්පාර දිස්ත්‍රික්ක ආශ්‍රිතව වී අස්වනු නෙළීම බහුලව සිදුවන බැවින් එම ප්‍රදේශවලින් පළමුව වී මිලදී ගැනීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.
රජය විසින් නියම කර ඇති පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමට නියමිතය.
වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා සූදානම් කර ඇති අතර ස්ථාන 143ක පිහිටි ගබඩාවලින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ගබඩා ධාරිතාව සම්පූර්ණ වුවහොත් ඒ ආසන්නයේ ඇති පෞද්ගලික අංශයේ ගබඩා භාවිත කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම වී මිලදී ගැනීම සඳහා රජය විසින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති අතර ඔඩපන ණය යෝජනා ක්‍රමය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබේ.
මෙම පහසුකම් මගින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස්කර ගැනීමට අවස්ථාව සැලසෙන බවත්, එම වැඩසටහන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරන බවත් සඳහන් කෙරිණි.
වී අලෙවි මණ්ඩලය සඳහන් කර ඇත්තේ ආරක්ෂණ තොගයක් ලෙස ගබඩා කර තැබීම සඳහා ප්‍රමිතියෙන් යුතු වී පමණක් මිලදී ගන්නා බවයි. ඒ සඳහා වීවල තෙතමනය සියයට 14ක් සහ බොල් ප්‍රතිශතය සියයට 9කට අඩු විය යුතු බවද අවධාරණය කර තිබේ.



