අධ්‍යාපන

ප්‍රායෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගන්නවා – අගමැතිනිය

ප්‍රායෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරමින් සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (02) කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති අති පූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ “නැණ ඉසුර – 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අති පූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ ශිෂ්‍යත්ව අරමුදල මඟින් සංවිධානය කළ මෙම උත්සවයේදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් 460 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණු අතර, ඔවුන්ගේ උසස් පෙළ අධ්‍යාපනය අවසන් වන තෙක් එම ශිෂ්‍යත්වය ලබාදීමට නියමිතය.

ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ අධ්‍යාපනය සෑම දරුවෙකුටම හිමි මූලික අයිතිවාසිකමක් බවත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිදුවන පසුබිම ඉවත් කිරීම රජයේ අරමුණ බවත්ය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ,

“ඔබ දන්නවා මේ වනකොට රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්, නව පුනරුදයක් ඇති කරන්න රජය කැපවෙලා ඉන්නවා. රජයක් විදිහට අපේ පැහැදිලි දැක්ම තමයි, අධ්‍යාපනය කියන්නේ ඕනෑම දරුවෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවිය යුතුයි කියන එක. රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත්, දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටතම ආයෝජනයයි. අපිට තිබෙන ප්‍රබල ම සම්පත මානව සම්පතයි. රජය විදිහට අපි අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැදගත් පියවර කිහිපයක්ම ගනිමින් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විෂය මාලාවන් යාවත්කාලීන කරමින්, දැනට තියෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වෙන ප්‍රායෝගික අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්.”

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු හිඟයට විසඳුම් ලබාදීම සහ තාක්ෂණික පහසුකම් පුළුල් කිරීම තුළින් සෑම දරුවෙකුටම සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන් අතරමං නොවන පරිදි වෘත්තීය හා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, පාසල් දිවා ආහාර, පෙළපොත්, පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අඛණ්ඩව සහාය ලබාදීමට රජය කැපවී සිටින බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button