
ශ්‍රීලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප – නඩුව ජුලි 28ට කැඳවයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඔහු, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියට පමුණුවා ඇත.
අධිකරණයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, 2012 සිට 2014 දක්වා කාලය තුළ එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට අමාත්‍යංශය මගින් ඉන්ධන දීමනා හිමිව තිබියදී, නීතිවිරෝධී ලෙස ශ්‍රීලන්කන් ගුවන් සමාගම මගින් රුපියල් 28,53,935ක මුදලක් ඉන්ධන දීමනා ලෙස ගෙවා ඇති බවයි.
එම මුදල් ගෙවීම් ආරම්භයේදී මාසිකව රුපියල් 50,000 බැගින් සිදුකර ඇති අතර, පසුව එය රුපියල් 75,000 දක්වා වැඩි කර ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත. මෙම ක්‍රියාවලිය තුළ දූෂණය සිදු වී ඇති බවට සැක මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් කෙරිණි.
ඇප ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විරුද්ධතාවයක් නොදැක්වූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය. එසේම, ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය නියෝග කර ඇත.
මෙම නඩුව නැවත කැඳවීම සඳහා ජුලි 28 වන දින නියම කර තිබේ.



