ප්‍රධාන පුවත්

ADB විසින් ශ්‍රී ලංකාවට අනුමත ණය මුදල ඩොලර් මිලියන 480 දක්වා වැඩි කරයි

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් 2026 වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. එමෙන්ම වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම මුදලෙන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් නිකුත් කිරීමටද එකඟතාව පළ කර තිබේ.

මෙම තීරණය ප්‍රකාශයට පත් වන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසටෝ කාන්ඩා මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායම අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදීය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමට ADB ආයතනයෙන් ලබාගත හැකි සහාය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර, විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

පශ්චාත් ආපදා තත්ත්වය මෙන්ම මැදපෙරදිග කලාපයේ වත්මන් යුදමය පසුබිම මධ්‍යයේද ආර්ථික ස්ථාවරතාව පවත්වාගෙන යාම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ADB සභාපතිවරයා විසින් අගය කළේය. එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදීමට ADB සූදානම් බවද ඔහු පැවසීය.

තවද, සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සියැසින් නිරීක්ෂණය කළ බව සඳහන් කළ සභාපතිවරයා, මධ්‍යම කඳුකරයේ ජල පද්ධති ආරක්ෂා කර ගැනීම සහ ඉදිරියේදී මෙවන් ආපදා අවම කිරීමට අවශ්‍ය වැඩසටහන් සඳහාද සහාය ලබාදීමට කැමැත්ත පළ කළේය.

මෙම අවස්ථාවට ADB නියෝජිත පිරිසක් ඇතුළුව ශ්‍රී ලංකා රජයේ මන්ත‍්‍රීවරුන් සහ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button