
ගල්කිස්සේ කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට
ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදී රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බවට චෝදනා එල්ල වූ ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිස්ස පොලීසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
පොලීසිය සඳහන් කළේ, රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේ ත්‍රීරෝද රථයක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මඟ හරස් කර නවතා පහර දී, ඔහු සන්තකයේ තිබූ මුදල් කොල්ලකෑ බවට මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී, එම මුදල් සීට්ටු මුදල් නොව විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බව කියන “කූඩු අංජු” නමැත්තාට අයත් බවට තොරතුරු අනාවරණය වී තිබේ. පැමිණිලිකරු එම මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම මුදල් පැමිණිලිකරුට ලබාදුන් බව කියන මොරටුව අඟුලාන ප්‍රදේශයේ කාන්තාවකගෙන් ද ප්‍රශ්න කර ඇති අතර, ඇය මුදල් සීට්ටු මුදල් බව ප්‍රකාශ කළද එය තහවුරු කිරීමට නොහැකි වූ බව පොලීසිය පවසයි. පසුව එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක මතුවීමත් සමඟ අදාල කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 55 හැවිරිදි කාන්තාව මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියකට පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බව සඳහන්ය.
සැකකරුවන් සියලුදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



