
අකුරැස්සේ සිරි ධම්මවිමල හිමිට ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය
අකුරැස්සේ සිරි ධම්මවිමල හිමිට ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය හිමිව තිබේ. ඒ, එම විහාරස්ථානයේ හිටපු අධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත්වීමෙන් පසුවය.
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් මෙම නව පත්වීමට තෝරාගෙන ඇති අතර, උන්වහන්සේ ගැටඹේ රාජෝපවනාරාමයේ අභිනව විහාරාධිපති ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ධුරය ද හෙබවූ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ පසුගිය 18 වැනිදා අපවත් වූහ. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වන විට 96 වැනි වියේ පසුවූහ.
ගැටඹේ රාජෝපවනාරාමය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය සහ සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් සිරිවිමල නාහිමියෝ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළහ. ජාතික හා ආගමික වශයෙන් වැදගත් අවස්ථාවලදී රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් හඬ නැගූ උන්වහන්සේ ගෞරවාදරයට පාත්‍ර වූ යතිවරයාණන් වහන්සේ නමකි.
අපවත් වී වදාළ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ඊයේ (21) පස්වරු 2.00ට ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.



