
මීගමුව බන්ධනාගාර ගැටුම – ප්‍රධාන ජේලර් ඇතුළු 20කට නොතිසි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා 20 දෙනෙකුට නොතිසි නිකුත් කර තිබේ.
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ බන්ධනාගාර ගැටුම සම්බන්ධ නඩුව අද (28) යළි කැඳවූ අවස්ථාවේදීය.
ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 20 දෙනෙකුට ලබන සැප්තැම්බර් 8 වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර ඇත.
අදාළ නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නඩු වාරයේදී සැකකරුවන් 70 දෙනෙකු නම් කර තිබූ අතර, අද සැකකරුවන් අංක 1 සිට 6 දක්වා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් සෞඛ්‍ය හේතුවක් සහ වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි. අනෙක් සැකකරුවන් සිව්දෙනා සමඟ ඔවුන් හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අද ඉදිරිපත් නොකළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ලිපි ඉදිරිපත් කර ඇත.
අනතුරුව පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් සිව්දෙනා විසින් සැකකරුවන් සිව්දෙනා හඳුනාගෙන තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 2,100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, තවත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 යන දිනවල ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තිබිණි. තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් එම සිද්ධියෙන් තුවාල ලබා ඇත.



