සෞඛ්‍යය

මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දිනකට 80-100ක් මරුට

මෙරට මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 80ත් 100ත් අතර ප්‍රමාණයකගේ ජීවිත අහිමි වන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසයි.

“රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව අද (28) පැවැති විෂ මත්ද්‍රව්‍ය නිවාරණය සහ ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට සිදුවන මරණ ප්‍රමාණයට සමාන මරණ සංඛ්‍යාවක් ඇති කරන වෙනත් තනි පුද්ගල හේතුවක් නොමැති බවද ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

මෙරට වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුවන කරුණක් ලෙස දුම්පානය හඳුනාගෙන ඇති බවත්, මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 10ත් 15ත් අතර පිරිසක් මියයන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයද මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇති බවත්, ඒ සඳහා මූලික පසුබිම සකස් වන්නේ නීතිගත මත්ද්‍රව්‍ය භාවිතයෙන් බවත් ආචාර්යවරයා පැවසීය.

හෙරොයින් භාවිතයට යොමුවන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු ඊට පෙර දුම්පානයට ඇබ්බැහි වී සිටි බවටත්, ගංජා භාවිතයට යොමුවන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු ඊට පෙර මධ්‍යසාර හෝ දුම්වැටි භාවිත කර ඇති බවටත් සාක්ෂි සහ දත්ත පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා,

“ලංකාවේ බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය භාවිතයට හේතුවක් තමයි මේ නීතිගත මත්ද්‍රව්‍යවලින් ලැබෙන ආරම්භය. ලංකාවේ දොරටු විවර කරලා දෙන ප්‍රධාන මත්ද්‍රව්‍යක් තමයි දුම්පානය. හෙරොයින්වලට භාවිතා කරන අයගෙන් බොහෝ පිරිසක් හෙරොයින්වලට පෙර දුම්පානය භාවිතා කරලා කියන එකට ඇති තරම් සාක්ෂි තියෙනවා. ඒ වගේම තමයි ගංජා භාවිතයට පෙර ගොඩක් අය භාවිතා කරලා තියෙන්නේ එක්කෝ මධ්‍යසාර නැත්නම්  දුම්වැටි. මේ වගේ මත්ද්‍රව්‍ය අතර තියෙනවා මෙන්න මේ වගේ සම්බන්ධතාවයක්.

දෙවැන්න තමයි මේකෙන් වෙන හානිය. මේ තුළින් ආර්ථික, සමාජීය සහ සෞඛ්‍ය හානිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් කිව යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි සෞඛ්‍යමය පැත්ත ගත්තොත් එක දවසකට වැඩිම ජීවිත ප්‍රමාණයක් නැති කරන තනි හේතුව තමයි මත්ද්‍රව්‍ය. එකෙදි දුම්පානය නිසා ලංකාවේ දිනකට වැඩි ප්‍රමාණයක් ඇතිවන ලෙඩ නිසා මරණයට පත්වෙනවා. ඒ වගේම මධ්‍යසාර නිසා දිනකට 10-15ත් අතර ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම තමයි අනෙකුත් මත්ද්‍රව්‍ය නිසා මිය වන ප්‍රමාණය තාමත් නිසි පර්යේෂණ මගින් තහවුරු කරලා නැති වුණාට අපි ඇස්තමේන්තුගත සාක්ෂි දත්ත බැලුවොත් එහෙම සාමාන්‍යෙයන් 10-15ත් අතර ප්‍රමාණයක් දිනකට මිය යනවා. මේ අනුව සාමාන්‍ය දිනක් අනුව ගත් විට 80-100 අතර ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසාම ජීවිතය නැතිවෙනවා. මේ මරණ දිහා ගත් විට මෙවැනි මරණ සිදුකරන වෙනත් තනිපුද්ගල හේතුවක් නැති තරම්.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button