
UN ආරක්ෂක මණ්ඩලය හමුදා මෙහෙයුම්ට නීතිමය ආවරණයක් නොදිය යුතුයි – චීනය අවධාරණය කරයි
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග අනවසර හමුදා මෙහෙයුම් සඳහා නීතිමය ආවරණයක් ලෙස භාවිත නොවිය යුතු බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අවධාරණය කරයි.
ඔහු මේ අදහස් පළ කළේ යුරෝපා කොමිසමේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත කාජා කල්ලස් මහත්මිය සමඟ පැවති දුරකථන සංවාදයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැන්ග් යී මහතා පැවසුවේ, එවැනි ක්‍රියාමාර්ග ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න කරමින් ආතතිය වැඩි කිරීමට හේතු නොවිය යුතු බවයි. ඒ වෙනුවට ජාත්‍යන්තර සන්නිවේදනය ශක්තිමත් කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික කරගත් ජාත්‍යන්තර පද්ධතිය හා නීතිමය පිළිවෙළ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනය සහ යුරෝපයට පොදු වගකීමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර, කාජා කල්ලස් මහත්මිය සඳහන් කළේ යුරෝපා පාර්ශ්වය එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් සඳහා සහය දක්වන බවත්, විශේෂයෙන් සිවිල් වැසියන් සහ හමුදා නොවන ඉලක්ක ආරක්ෂා කිරීම ප්රමුඛ කරුණක් ලෙස සැලකෙන බවයි. එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි සියලු උත්සාහයන් ද ගන්නා බවද ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම මැදපෙරදිග වත්මන් තත්ත්වය පිළිබඳව ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වේඩෙෆුල් මහතා සමඟද වැන්ග් යී මහතා දුරකථන සංවාදයකට එක්වී තිබේ. එහිදී ඔහු ගල්ෆ් කලාපයේ රටවල ස්වෛරීභාවය හා ආරක්ෂාවට ගරු කිරීමේ වැදගත්කමත්, සිවිල් ජනතාව සහ හමුදා නොවන ඉලක්ක සඳහා ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කළේය.
ජර්මානු පාර්ශ්වයෙන් දක්වා ඇත්තේ, ගල්ෆ් හා මැදපෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීම සඳහා චීනය සහ පාකිස්ථානය විසින් ඉදිරිපත් කළ කරුණු පහකින් යුත් යෝජනාවට සහ එක්සත් ජාතීන්ගේ කාර්යභාරයට ජර්මනිය සහය දක්වන බවයි.
එමෙන්ම චීනය සමඟ සන්නිවේදනය සහ සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට තම රට සූදානම් බවද ජර්මානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.



