
වනඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමට AI තාක්ෂණික පද්ධතියක්
වනඅලි ගම්වැදීමට පෙර ජනතාවට අනතුරු ඇඟවීමේ AI පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ හැකියාව සොයාබැලීම සඳහා මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ඊයේ (13) ගල්ගමුව ප්‍රදේශයේදී පවත්වා තිබේ.
AI තාක්ෂණය යොදාගෙන වනඅලි ගම්වැදීමට පෙර ජනතාව අනතුරු ඇඟවීමේ හැකියාව සොයාබැලේ
අලි-මිනිස් ගැටුම අවම කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමුකර ඇත.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මෙරට චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් එක්ව සිටියහ.
චීනයේ අලි-මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සාර්ථකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.
යෝජිත තාක්ෂණික ක්‍රමවේදය යටතේ කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ කැමරා පද්ධති භාවිත කරමින් වනඅලින්ගේ ශරීර ප්‍රමාණය සහ ගමන් කිරීමේ රටා හඳුනාගැනීමට නියමිතය.
ඒ අනුව වනඅලින් ගම්මාන වෙත ළඟාවීමට පෙර ඔවුන්ගේ සංචරණය හඳුනාගෙන අනතුරු ඇඟවීමේ සංඥා සහ පණිවුඩ මඟින් අවදානම් ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ හැකියාව පවතී.
මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ භූගෝලීය ස්වභාවය, වනඅලින් ගමන් කරන මාර්ග, ගම්මාන වෙත ඇතුළුවන ස්ථාන සහ කැමරා පද්ධති සවිකිරීමට වඩාත් සුදුසු ස්ථාන පිළිබඳවද විශේෂ අවධානය යොමුකර ඇත.
චීනයේ සාර්ථක අත්දැකීම් සහ නවීන තාක්ෂණික විසඳුම් මෙරට පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට ගැළපෙන අයුරින් භාවිත කළ හැකිද යන්න ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.



