සෞඛ්‍යය

නිපා වෛරසය මෙරට තුළ පැතිරීමේ අවදානම අවමයි – සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ

 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත්තේ

ශ්‍රී ලංකාව තුළ ‘නිපා’ වෛරසය පැතිරීමේ අවදානම වර්තමානයේදී ඉතා අවම මට්ටමක පවතින බවයි.

‘නිපා’  වෛරසය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

 

එතුමන් එහිදී සඳහන් කර ඇත්තේ මෑත කාලයේදී ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ‘නිපා’ වෛරස ආසාදිතයින්  හඳුනාගෙන ඇති බවය.

 එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීමට මේ දක්වා නිර්දේශ කර නොමැති බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම’ වෛරසය ප්‍රධාන වශයෙන් සත්ත්වයන් අතර, විශේෂයෙන්ම වවුලන් අතර දක්නට ලැබෙන ආසාදන රෝගයක් වන අතර, ආසාදිත සත්ත්වයන් හෝ ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිවූ විට ඉතා කලාතුරකින් මිනිසුන්ටද බෝ විය හැකි බව එහි සඳහන්  කර ඇත. 

මිනිසුන් අතර ආසාදනය වීම සිදුවන්නේ සමීප සහ දිගුකාලීන සම්බන්ධතා හරහා පමණක් වන බවත්, මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පහසුවෙන් පැතිරෙන වෛරසයක් නොවන බවත් සඳහන් කර ඇත.

තවද කඩිනමින් රෝගීන් හඳුනාගැනීම සඳහා ශක්තිමත් රෝග අවේක්ෂණ පද්ධතියක් ලංකාව තුළ ක්‍රියාත්මක බවත්, යම්කිසි රෝගී තත්ත්වයක් හඳුනාගතහොත් වහාම ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව ඇති බවත් ලේකම්වරයා සඳහන් කර ඇත. 

වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු රෝග නිර්ණය සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්ද පවතින බව ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අදාළ අන්තර්ජාතික ආයතන සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවද, නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර පමණක් භාවිතා කරන ලෙස එතුමන් ජනතාවට උපදෙස් දී ඇත.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button