
නෙළුම් මලේ සැඟවුන ඔසුගුණ වැව් බැඳි රාජ්‍යයේ අයට අරුමයක් නොවෙන බෞද්ධයන්ගේ ඕනෑම ආගමික කටයුත්තකදී පෙරමුණේම ඉන්නා නෙළුම් මල
අලංකරණ හා පුද පූජා කටයුතු ආදිය හැරුණු විට මෙම මල් වර්ගය දේශීය ආයුර්වේද ප්‍රතිකාර උදෙසා ද යොදාගත් බව සාරාර්ථ සංග්‍රහයෙන් පෙනී යනවා. එම ග්රන්ථයට අනුව අනුරාධපුර යුගයේදී පැවතුණු ජන සමාජය නෙළුම් මල්වල ගුණ හා ඒවායින් රෝග සඳහා ප්‍රතිකාර කරන ආකාරයද ඉතා හොඳින් දැන සිට තිබෙනවා.
සුශ්‍රැත සංහිතාවට අනුව නෙළුම් මල් වර්ගීකරණය කර ඇති ආකාරය ආයුර්වේද ඖෂධ සංග්‍රහය මෙලෙස පෙන්වා දෙනවා.
. පද්ම – මදක් සුදුපාටින් යුත් නෙළුම් මල් වර්ගය.
. උත්පල – මදක් නිල්පාටින් යුත් නෙළුම් මල් වර්ගය.
. නලින – මදක් රතුපාටින් යුත් නෙළුම් මල් වර්ගය.
. කුමුද – සඳරැස් මගින් පිපෙන නෙළුම් මල් වර්ගයයි.
. සෞගන්ධික – රෑට පිපෙන ගර්දභපුෂ්ප නම් නෙළුම් මල් විශේෂයයි.
. කූවලය – සේරල නම් නෙළුම් වර්ගයයි.
. පුංඩරික – තද සුදුපාට ඇති නෙළුම් වර්ගයයි.
බොහෝ ඔසු ගුණ කැටිවුන නෙළුම් ශාකයේ මල්, රේණු, ඇට, පත්‍ර, අල ආදී සියළුම කොටස් ඖෂධ ලෙස භාවිතා කෙරෙනවා. මිහිරි, කහට හා තිත්ත රසයකින් යුක්ත නෙළුම් සෙම් රෝග හා පිත් රෝග සඳහා ආයුර්වේදය තුළත් හා හෙළ වෙදකම තුළත් භාවිතා කරන්නේ එහි ඇති සෙම් හා පිත් සමනය කරන සුවිශේෂී ගුණය නිසයි.
🪷හදවතට හිතකර, හදවත ආරක්ෂා කරන ඔසු ගුණයෙන් යුත් නෙළුම් රක්ත අතීසාරය, රක්ත ප්‍රදරය, රක්ත අර්ශස්, රක්ත පිත්ත ආදී රුධිරය වහනය වන රෝග වලදී යොදාගන්නේ වහනය වන රුධිරය නැවැත්වීමේ අරමුණින්. එමෙන්ම ලේ දූෂිත රෝගයන්ට ද ප්‍රතිකාර කිරීමේදී මෙම නෙළුම් ඉඳහිට භාවිතා කරනු ලැබෙනවා.
🪷 ගැබිනි මව්වරුන්ගේ ගර්භ සාරය පිටවීම නතර කර දරු ගැබ ආරක්ෂා කිරීමට හා සිරුර ශක්තිමත් කරගැනීමට නෙළුම් මල් චූර්ණය හා නෙළුම් මල් පේයාව ඈත අතීතයේ සිටි අප මව්වරුන් භාවිතා කරනු ලැබුවා. ඒ වගේම මව්වරුන්ගේ කිරි එරවීම උත්තේජනයට හා ආර්තව වේදනාවන් සමනයට ද නෙළුම් අල අපූරු අත්බෙහෙතක්.
🪷කුඩා දරුවන්ගේ කෙට්ටුව මට්ටු කිරීමට, මල වල දෝෂයන් හා මුත්‍ර රෝග සමනය කිරීමට නෙළුම් අල, දඬු, රේණු, ඇට ආදියෙන් සකසාගන්නා ලද ඖෂධ භාවිතා කරනු ලබනවා.
🪷රක්ත පිත්තයට නෙළුම් රේණු සමඟ මානෙල් අල ද, උණ සමඟ ඇතිවන අතීසාරයකදී නම් නෙළුම් රේණු, මානෙල් අල සහ දෙළුම් ලෙලි චූර්ණය හාල්පාන වතුරෙන් බීමට දෙනු ලබනවා.
🪷 මුඛයෙන් රුධිරය වහනය වන විට නෙළුම් රේණු චූර්ණය සීනි සමඟ ලබා දෙන අතර මුත්‍රා දැවිල්ලකදී නම් නෙළුම් අල හා මානෙල් අල කසාය හදා පානයට ලබාදෙනවා.
🪷දැවිල්ලක් සහිත ඇස් රෝගයන්හිදී නෙළුම් මල් අඹරා එළු හෝ එළකිරි සමඟ පානය කිරීමෙන් සුවය ලබාගත හැකියි.
🪷බඩවැල් පහත් වීමේදී නෙළුම් අල, නෙළුම් කොළ සමව ගෙන සීනි සමඟ අඹරා රත්කර කෑමට දෙන්නේ එහි ගුණය එතරම් විශ්මිත නිසයි.
🪷 පීනස රෝගයේ දී නෙළුම් අල සමඟ හිඟුරුපියලිය, පිටවක්කා, තිප්පිලි, සුදුළූණු හා ගම්මිරිස් කලං 02 බැගින් යොදා සකස්කරගන්නා කෂාය පානය කිරීමෙන් පීනසට ගුණ ලැබෙනවා.
🪷 නව යොවුන් වියේදී ඇතිවන කුරුලෑ දුරුකර ගැනීමට නම් නෙළුම් අල, නෙළුම් රේණු සමඟ පාවට්ටා මුල්, කලාඳුරු අල, හාතවාරිය අල, සුවඳ කොට්ටන් කලං 02 බැගින් ගෙන පත අට එකට සිඳ මීපැණි දමා උදේ සවස පානය කළ යුතුයි.
🪷සෙංගමාලය රෝගයේදී නෙළුම් දඬු සමඟ ඉරමුසු, සැවැන්දරා මුල්, රත් හඳුන්, සුදු හඳුන්, වැල්මී කෂාය කර පානය කිරීම ඉතාමත් ගුණදායකයි.
🪷 නිරෝගිමත් කෙස් කළඹක් ලබා ගැනීමට අවශ්‍ය නම් කීකිරිඳිය, ගොටුකොළ, මුගුණුවැන්න, ඉරමුසු, කරපිංචා ආදී කොළ වර්ග මෙන් නෙළුම් අල වලින් ද කැඳ සකසා පානය කිරීම ඉතාමත් සුදුසුයි.
🪷 මීට අමතරව නෙළුම් වල විවිධ ඔසු කොටස් අතීසාරය, උණ, අක්මා රෝග, ශ්වේත ප්‍රදරය, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, පිළිකා ආදී බොහෝ රෝග ගණනාවකට ද ගුණදායක වෙනවා.
මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ජලාශ වලට එකතුවන අහිතකර බැරලෝහ නෙළුම් අල මඟින් අවශෝෂණය කරගන්නා බව මෑතකදී සොයාගෙන ඇති නෙළුම් අල ආහාරයක් ලෙස හෝ ඖෂධයක් ලෙස භාවිතා කිරීමට පෙර සුදුසු පරිදි විෂ හරණය කරගත යුතුයි. මෙලෙස ජලය දූෂණයට ලක් නොවූ ස්ථානයකින් නෙළුම් අල සොයාගත හැකි නම් එය වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි.
⭕ සැලකිය යුතුයි
මෙහි සඳහන් කර ඇති ඖෂධ පන්තීන් ඔබ හට ඉදිරිපත් කර ඇත්තේ දේශීය වෙදකමේ හා ආයුර්වේද වෙදකමේ ඇති බල මහිමයත්, ගුණ මහිමයත් ඔබට ගෙනහැර දැක්වීමේ අදහසිනි. එම නිසා මෙම ප්‍රතිකාර පන්තීන් භාවිතා කිරීමට පෙර සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න.



