කාලගුණය

ඉදිරි පැය 36දී අඩුපීඩනය ශ්‍රී ලංකාවෙන් ඉවතට

ශ්‍රී ලංකාවට ඊසාන දිශාවේ පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇද හැලීමේ හැකියාවක් පවතින බව ද සඳහන් වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් වැසී පවතින අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබීමේ අවදානමක් පවතින අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දැනුම් දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබාදී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button